ආදරයේ ව්‍යාජආලවට්ටම් වෙනුවට
විමලරත්න කුමාරගමගේ
අව්‍යාජතම කවිය
මං ඊයේ
විමලරත්න කුමාරගම කවියගේ කවියක් පිංතූරයක් එක්ක දැම්මා. විමලරත්න මගේ සේවා
පුරෝගාමියෙක්. එයා ලිව්ව කවි ගොඩක් කියවනකොට තේරෙනවා ඒවා ලියන්න පාදක කර
ගත්ත අත්දැකීම එයා තේරුම් අරගෙන තියෙන්නේ, මං කළින් විශ්ලේෂණයකට යොදා ගෙන
කුණු කතා අහපු ප්‍රජා ගැටළු තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක් වෙන "සහකම්පනය"
කියන න්‍යායට අනුව බව. ඒ කවි ප්‍රජා ගැටළු සහකම්පන සංකල්පනයෙන් තේරුම්
ගැනීමට හොඳ උදාහරණ. කුමාරගම කවියා මේ සහකම්පනය කියන සංකල්පය යොදා ගත්තේ ප්‍රජාව ගැන කියන්න විතරක් නෙවෙයි. තමන්ගේ සේවයේ නිලධාරීන්ගේ (පිරිමි) මනසත් තේරුම් අරගෙන කවි දෙපදයක් ලියලා තියෙනවා. මේ සටහන කුමාරගම "නිලධාරීන් ගැන සහකම්පනයෙන්" ලියපු කවියකට හොඳ උදාහරණයක් වෙච්ච ඒ කවි දෙපදේ ගැන.
කවිය තේරෙන්න පසුබිම් කතාවත් කෙටියෙන් කියන්නම්. කුමාරගම මේ කවිය කියලා තියෙන්නේ තමන්ගේ කාර්යාලයේ සේවය කරපු ලස්සන ගෑණු ළමයෙක් නිමිත්ත කරගෙන.
අපි සාමාන්‍යයෙන් දන්නවා, නිලධාරියෙක් ළඟට රාජකාරියට වැඩියෙන්ම එන්නේ අපේ කාර්යාලයේ නිලධාරීන් බව. එයාලා විවිධ හේතු නිසා එනවා. උපදෙස් දෙන්න, උපදෙස් ගන්න, "ගොනුවෙන් ඉදිරිපත් කරන්න" කිව්වම සටහන් පැහැදිලි කරන්න, "කරු කතා කරන්න" කියලා කියපු ලිපි ගැන කතා කරන්න. ලිපි කෙටුම්පත් සාකච්ඡා කරන්න. වාර්තා හදන්න. අමාත්‍ය මණ්ඩල සන්දේශ කෙටුම්පත් කරන්න වගේ කෙළක් වැඩවලට. එහෙම එන අය නිකම් යකඩ ගොඩවල් වගේ මූන පුළුටු කරගෙනම ඉන්නේ නෑ නේ. ඒ අතරේ පුංචි පුංචි පෞද්ගලික කතාබහත් සිද්ධ වෙනවානේ. සමහර වෙලාවල්වලට ලාවට හුරතල් වීම් හෙමත් නොවෙනවම කියන්න බෑනේ.
දවසක් කුමාරගම කියන සිවිල් නිලධාරියා ළඟට එහෙම "කරු කතා කරන්න" කියලා ගහපු ලියුමක් අරගෙන බොහෝම තරුණ කළමනාකරන සේවයේ (සේවා නාමය යාවත්කාලීන කර ඇත) නෝනා කෙනෙක් ආවලු. රාජකාරිය සීරියස් විදිහට කතා කරලා ඉවර වෙලා ආපහු යන්න කළින් ඒ නෝනා, කුමාරගම කවියාගේ රසිකාවියක් විදිහට, බොහෝම ඇගෑලුම් කමකින් මෙහෙම ඉල්ලීමක් කළාලු!
"ඔබතුමා දක්ෂ කවියෙක් නේ. අනේ මං ගැනත් කවියක් කියන්න කෝ!"
සාමාන්‍යයෙන් මේ වගේ රසකාමී, පෞද්ගලික ඉල්ලීමක් කරනකොට ඕන හැම කෙනෙකුගේම (ගැහැනු වගේම පිරිමිත්) අර "සීරියස්" රාජකාරී පෙනුම අහෝසි වෙලා, පොඩි පෞද්ගලික වේෂයකට රූපාන්තරණය වෙනවා. මේ වෙනස්වීම කරන්න නියමිත පෞද්ගලික ඉල්ලීමට සාපේක්ෂයි. හෙට මොකක් හරි හේතුවකට නිවාඬුවක් ගන්න ඕන නම්, එයාගේ පෙනුම කිරි අම්මා ලෙඩ වෙලා වගේ සීරියස් ස්වභාවයක් ගන්නවා. ළමයගේ ඉස්කෝලේ වැඩකට යන්න කියලා, නෝනා තදින් බැනලා කියලා නම් ‘වැලි කතරක අතරමංව’ වගේ අසරණ පෙනුමක් එනවා. යාළුවොත් එක්ක අපත වැඩකට සෙට් වෙන්න නිවාඬුවක් ඉල්ලනවා නම් අඬන ගමන්ම හිනා වෙන මූණකට (ගංජා ගහලා වගේ) මාරු වෙනවා. අපි ඒවට කියන්නේ Gestures & Postures හෙවත් ශරීර භාෂාව කියලා.
ඉතිං ඒක තමන් ගැන වර්ණනාවක් අහගන්න හිතාගෙන කියන මේ වගේ සීන් එකක් නම්, ස්වරූපය පොඩි ප්‍රේමණීය ස්වභාවයකට මාරු වෙන එක වළක්වන්න බෑ. හිනාව වෙනස් වෙනවා. ඒකට පොඩි කෝල කමක් එනවා. ෆයිල් එක තදින් පපුවට තුරුළු කර ගන්නවා. හරියට කව්රු හරි උදුරා ගනියි කියලා බයෙන් වගේ. සමහර වෙලාවට නිකං වැටෙන්න යනවා වගේ දැනිලා මේසේ කොනට හේත්තු වෙනවා. හීනි තට්ටුවක් දානවා.
ඉතිං මේ ගෑණු දැරිවිත් කරලා තියෙන්නේ අඩි දෙක හමාරක් උස මේසේ කොනට, එහෙම නැත්තම් මුල්ලට හේත්තු වෙලා, ඒකේ කොනට ඇඟිල්ලෙන් අනින එක. එහෙම ඇන ඇන තමයි අර ඉල්ලීම කරලා තියෙන්නේ.
තවත් එකක් ලියන්න ඕන. ඒ දවස්වල දැන් වගේ කොන රවුම්, කම්පියුටරේ තියා ගන්න සැලසුම් කරපු ජාතියේ මේස තිබ්බේ නෑ. හරි හතරැස් මේස තමයි තිබිලා තියෙන්නේ. අපි කව්රුත් දන්නවා මේසේ කොන අංශක අනූවක කෝණයක් කියලා. ඒක නිකං අතිරේක තොරතුරක් විතරයි.
දැරිවිගේ මේ විස්තර කරපු ජාතියේ ඉරියව්වට කාව්‍ය භාෂාවෙන් කියන්නේ ශෘංගාරාත්මක ඉරියව්වක් කියලා. ඒ දිහා බලාගෙන කුමාරගම කවියා මෙහෙම කිව්වලු.
“කෙල්ලේ, උඹ තාම නාඹර වයසේ ඉන්න දඟකාර පොඩි කෙල්ලක්. තරුණ ස්ත්‍රියාවක්! මහ ගෑණියක් නොවෙයි. ඒ නිසා, උඹට මං හතර පද හිටිවන කවියක් වෙනුවට, දෙපද කවියක් කියන්නම්”
එහෙම කියපු කුමාරගම කවියා මෙන්න මේ කවිය කිව්වලු.
"නංගි ඉන්න හැටි දැක්ක ම මේසෙට ඇන ඇන
මටත් වැඩිය පින්කළ බව දැනෙයි මේසේ කොණ"
විමරත්න කුමාරගම කියන කවියා ප්‍රසිද්ද “අව්‍යාජ” කවි ලියපු කෙනෙක් විදිහට. මං ඉන්තේරුවෙන්ම කියන්න කැමැතියි. මේක තමයි කුමාරගම ලියපු “අව්‍යාජතම” කවිය කියලා.
කොරෝනා මානසික වියවුල
කොරෝනා ව්‍යාප්තියත් එක්ක ලංකාවේ මධ්‍යම පංතියේ අපි ලොකු මානසික වියවුලකට පත් වෙලා ඉන්න බව රහසක් නෙවෙයි නේ. මේ ආරංචිය ආව මොහොතේ ඉඳලා අපි අසාමාන්‍ය විදිහට බය වෙලා ඉන්න බව කියන්න මං නං ලැජ්ජා වෙන්නේ නෑ. මං ඒ සමහර බයවල්වලට කළින්ම උත්තර දුන්නා.
ආරංචිය ආව ගමන්ම අනෙක් මධ්‍යම පංතික යාළුවොත් එක්ක සෙට් වෙලා, සුපර් මාර්කට් හූරලා බඩු ගොඩක් අරගෙන ගොඩ ගහ ගත්තා.
මේ ගැන ආරංචි වෙච්ච ගමන්ම සරල හෙම්බිරිස්සාවේ ඉඳලා නිව්මෝනියාව දක්වාම, සරල ගෑස් අමාරුවේ ඉඳලා අක්මාව නරක්වීම දක්වාම, සරල මුත්‍රා දැවිල්ලේ ඉදලා වකුගඩු නරක්වීම දක්වාම, සරල කට දැවිල්ලේ ඉඳලා මුඛ පිළිකාව දක්වාම හදිස්සියක් වුනොත් බොන්න බෙහෙත් පාමසියෙන් අර ගත්තා. කට වහ ගන්න මාස්ක් තොගයකුත්, හෑන්ඩ් ක්ලීනර් ලීටර් දෙක තුනකුත් ගත්තා.
අමාරුවෙන් රෙදි කඩ හත අටක ඇවිදලා රෙදි තොගයක් ගත්තා. වාහනේ ඩීසල් උපරිම ගහගෙන බූලි දෙකක් පිරෙන්න ඩීසල් ගෙනැල්ලා තියා ගත්තා. අලුතෙන් ගෑස් ටැංකි දෙකකුත් එක්ක ගෑස් ටැංකි තුනක් ගත්තා. මං මොකටත් කියලා එවා රූෆ් ටොප් එකේ තිව්වා. වැරදීමකින් හරි පාස්කු දවසේ ගිනි අරගෙන පිපිරුවොත් තවත් මළ කෙළියක් වෙනවා නේ.
සේරම සර්ව සම්පූර්ණයි කියලා හිතාගෙන, ටී. වී. එක ඉස්සරහ අපේ සෙට් එක කොරෝනාවට දොඹෙන් යන්න දෙන විදිහ බල බලා, දේශ වාත්සල්‍යයෙන් හිටියේ. මගේ හිතේ ශාන්තිය නැති කළේ රූපවාහිනියට ආව මනෝ වෛද්‍ය (දොස්තර) නෝනා කෙනෙක්. මං සාමානයයෙන් දොස්තර මහත්තුරුන්ට වඩා දොස්තර නෝනලා ඉන්න වැඩසටහන් බලන්න කැමැතියි කියලා එයත් නිතරම කියනවා. ඒවට අවධානය වැඩිලු.
“සාමාන්‍යයෙන්, මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා වගේම ව්‍යයසන අවස්ථාවක අපේ මානසික නිරෝගීතාවයට යම් යම් බලපෑම් වෙන්න පුළුවන්. හුදකලාව, බය, මරණය සම්බන්ධ චින්තාව, අවිනිශ්චිතතාවය, අපේක්ෂා භංගත්වය වගේ හැඟීම් එන එක සාධාරණයි” ඒ මානසික දොස්තර නෝනා කිව්වා.
මේ කතාව ඇහුවම තමයි මට මතක් වුනේ අපි හදිසියේ ඇතිවෙන මානසික ලෙඩවලට මොනව හරි බෙහෙත් ටිකක් ගබඩා කර ගත්තේ නෑ නේද කියලා. මං වඩාත්ම අපහසුතාවයට පත් වුනේ සාංකාව, ඕසීඩී (Obsessive-Compulsive Disorder) වගේ රෝග ලක්ෂණ මටම මගෙන් පේන්න පටන් ගත්තම. කොච්චරවත් අත හෝදනවා, හිත රිදෙන ඒවා බලන්න එපා කිව්වට පේන්නෙම එවා, මට කොරෝනා හැදිලා කියලා කොච්චරවත් හිතෙනවා. අනේ මන්ද, මේ ගැන දිගින් දිගටම කල්පනා කරලා කරලා මට නින්ද යෑමත් අඩු වුනා. ඒ අතරේ එකම නරක හීනයක් එක රෑක දෙතුන් පාරක් පේන්න පටන් ගත්තා. මං රෑම නැගිටලා එයත් එක්ක බැරෑරුම් විදිහට සාකච්ඡා කළා.
“මං හිතන්නේ මට ලොකු මානසික රෝගයක් හැදිලා” මං කිව්වා. “හෙට උදේම අපොයින්මන්ට් එකක් අරගෙන දොස්තර කෙනෙක් හම්භ වෙන්න ගියොත් හොඳයි වගේ”
මට ඉන්නේ පුදුමාකාර ඉවසීමකින් මගේ දේවල්වලට සවන් දෙන බිරිඳක්. ඒක මං ජීවිතේ ලබපු ලොකුම වාසනාවක්. එයා මහ රෑ, නිදි මර ගාතේ හිටියත් මගේ ප්‍රශ්නෙට සාවධානව ඇහුම්කන් දුන්නා.
“ඔයාට කොහොමද එහෙම එකක් හිතුනේ?” එයා ඇහුවා.
“මං එකම හීනයක් දෙපාරක් දැක්කා. මට හිතෙන්නේ ඒක මරණයට සම්බන්ධයෙන් එකක්!”
“මොකක්ද?”
“මට හීනෙන් චූ බරක් දැනුනා. මං නැගිටලා ටොයිලට් එකට ගියා. ටොයිලට් එකේ දොර අරිනකොටම, ඒකපාරටම ඇස් නිලංකාර කරන එළියක් මං ඉස්සරහින් ආවා. මං හොඳටම බය වුනා. එක පාරටම දොර වැහුවා. ඒ එළිය නිවිලා ගියා. ආයෙමත් දොර ඇරියා. ආයෙමත් අර එළිය ආවා. මං නිකමට වගේ බලන්න ආයෙමත් දොර වැහුවා. එළිය නිවුනා. චූ බර කියන එකත් අමතක වෙලා මං වතුර වීදුරුවකුත් බිව්වා. එහෙමම ඇඳට ඇවිල්ලා, ඉවසගෙනම නිදා ගත්තා”
“ඉතිං?”
“මං හිතන්නේ මට ඉවසන්නම බැරි වෙන්න ඇති. ආයෙමත් ටොයිලට් එකට ගියා. දොර ඇරියා. අර එළිය ආයෙමත් ආවා. මේ වතාවේ මං කොච්චර බය වුනත්, දොර වැහුවේ නෑ. දොර ළඟ හිටගෙනම, එළියත් ඉවසගෙනම කොමඩ් එකට චූ විද්දා. දඩ-බඩ ගාලා දොර වහලා ඇවිල්ලා ආයෙමත් ඇඳට ආවා”
“අයියෝ!” එයා එහෙම කියලා මගේ පොරෝනාවයි, සරමයි අල්ලලා බැලුවා. හීනෙන් ටොයිලට් ගිය දවස්වල පස්සේ බලද්දී පොරෝනාවයි, සරමයි තෙමිලා තිබුණු බව එයාට මතක් වෙන්න ඇති.
“යාන්තං ඇති!” එයා කිව්වා. “හොඳයි, අපි එහෙම කරමු. හෙට උදේම කෝල් කරලා හරි, ඊ චැනලින් එකෙන් හරි ඇපොයින්මන්ට් එකක් ගමු. දැන් නිදා ගන්නකෝ!” එයා මං සනසවලා නිදි කෙරෙව්වා. මට ආරක්ෂිත හැඟීමක් දැනුනා.
අද උදේ මං නැගිට්ටේ එයා වමනේ දාන සද්දයක් ඇහිලා. උදේම කිසිම හේතුවක් නැතිව මහ හයියෙන් වමනේ දාන්නේ මොකද කියලයි මට එකපාරටම හිතුනේ. කොල්ලා තනියෙම ඉන්න බැහැ කියලා, ‘අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි දෙන්න’ කියලා ඉල්ලුව තමයි. ඒත්, උගේ ඒ ඉල්ලීම ලොවෙත් ඉෂ්ට කරන්න බැරි නිසා, අපි ඒක සලකා බැලුවේ නැති බව මට හොඳටම විශ්වාසයි. ඒ නිසා, මේ උදේ පාන්දර වමනේ දාන්නේ මොකක් හරි අජීර්ණයක් වෙන්න ඇති කියලයි මං හිතුවේ. මං දනි පනි ගාලා දුවගෙන එයා ළඟට ගියේ ෆෝන් එකත් අරගෙනමයි. එයාගේ පිට අතගාන ගමන් මං ෆෝන් එක කනේ තියා ගත්තා.
“කාටද…... කෝල්……. කරන්නේ?” එයා වමනේ දාන ගමන්ම ඇහුවා.
“ඉස්පිටිතාලෙට! මට මානසික දොස්තර කෙනෙක් බලන ගමන්ම ඔයාටත්…..” කියලා මං කියනකොටත් නෝනා වම් අතෙන් වමනේ උගුරපිස දාන ගමන්ම දකුණු අතින් මගේ ෆෝන් එක විසි වෙන්න එකක් ගැහුවා. සාමාන්‍යයෙන් එයා මගේ අතේ ෆෝන් එක තියෙනවට අකැමැති වුනාට, ෆෝන් එකට එරෙහිව ප්‍රචන්ඩකාරීව හැසිරුණු පළවෙනි අවස්ථාව තමයි මේක. ඒකත් අර දොස්තර නෝනා කිව්ව මානසික රෝගී ත්තවයක ලක්ෂණයක්. එයාටත් මට වගේම මානසික රෝගී තත්වයක් ඇති වෙලා කියලා හිතලා මං බය වුනා. මං ෆෝන් එක අහුලන ගමන්ම මෙහෙම කිව්වා.
“එහෙම නම්, මං එක්කම ඔයාටත් ඇපොයින්මන්ට් එකක් ගනිමු. සයිකෑස්ට්‍රික් කෙනෙකුගෙන්!”
“ඔයාට ඇති මොලේ අමාරුවක් නෑ ඕයි. ඔන්න ඕක පැත්තකට දානවා! මට ඇති අමාරුවකුත් නෑ. මං මේ වමනේ දාන්නේ අප්පිරියාවට! ඒ නිසා කව්රුවත් ඉස්පිටිතාලේ යන්න ඕන නෑ” එයා සැරෙන් කිව්වා. වමනේ අතරම සැර කරන එකත් අමුතුම සුන්දරත්වයක් කියලා මට හිතුනා.
එයා ගෙදර ඉන්නකොට හැම දෙයක් සම්බන්ධයෙන්ම විශේෂඥයෙක් කියලා හිතනවා, උපදෙස් දෙනවා, හැසිරෙනවා. ඒක හැම ගුණ යහපත් බිරිඳකගේ වගේම එයාගෙත් ස්වභාවය. අනෙක් මෝඩ සැමියෝ වගේ නෙවෙයි. මං සහජීවනය ගැන ගොඩක් හිතන, ගරු කරන කෙනෙක් විදිහට මං එයා විශේෂඥයෙක් කියන එක පිළිගත්ත එකත් ඇත්ත. ඒ වුනත්, එයා මට මානසික රෝගයක් තියෙනවද නැද්ද, ඔයා ඉස්පිටිතාලේ යන්න ඕනද නැද්ද වගේ කරුණු තීරණය කරන්න තරම් විශේෂඥයෙක් කියලා පිළිගන්න මං කැමැති වුනේ නෑ.
“ඇයි ඒ, ඔයාට මං කිව්ව නේද මගේ මානසික ආතතිය ගැන!”
“මොකක්ද ඔයා කිව්වේ?” ඇය ඇසුවා.
“අර මරණය සම්බන්ධයෙන් ආයෙ ආයෙමත් දැකපු හීනෙන්!”
“තමුසේ ටොයිලට් එකේ දොර අරිනකොට ඇස් නිලංකාර වෙන ආලෝකයක් ආව එකද?”
“ඔව්”
“ඒක හින්දා තමයි ඕයි මං කියන්නේ අපි ඉස්පිටිතාලේ යන්න ඕන නෑ කියලා”
“ඔයා කොහොමද එහෙම කියන්නේ. මං වැඩ කරන්නේ විද්‍යාත්මක ක්‍රමයට. පරීක්ෂණය; නිරීක්ෂණය; නිගමනය. ෆ්ලොයිඩ්ගේ සිහින පලාපල විග්‍රහයට අනුව මට අසාමාන්‍ය හීනයක් ආයෙ ආයෙමත් පෙනුනා. ඒක, මරණය හා සම්බන්ධ එකක්. මේ වෙලාවේ අසුභ සිතිවිලි ඇති වෙලා, ඒකෙන් මගේ මනස රෝගී බව තමයි හීනෙන් තේරෙන්නේ. ඉතින් මං සයිකෑස්ට්‍රික් කෙනෙක් ළඟට යන්න ඕන!” මං ටිකක් තදින් කිව්වා.
ආයෙමත් දිග වමනේ පාරක් දාපු එයා මට උත්තර දුන්නා.
“යන්න ඕන නෑ කියලා මමත් කියන්නේ ඒ ක්‍රමේටම තමයි. පරීක්ෂණ; නිරීක්ෂණ; නිගමනය” එයා හති දම දමා කිව්වා.
“පළවෙනියට, තමුසේ ඇරලා තියෙන්නේ ටොයිලට් එකේ දොර නෙවෙයි. ෆ්‍රිජ් එකේ දොර. දෙවෙනියට, ෆ්‍රිජ් එකේ දොර ඇරියම ලයිට් එකක් පත්තු වෙනවා තමයි. තමුසේ දහ පාරක් ඇරියත්, ඒ දහ පාරම ඒක පත්තු වෙනවා. තුන්වෙනියට; තමුසේ දොරෙන් එළියේ ඉඳලා චූ දාලා තියෙන්නේ ෆ්‍රිජ් එක ඇතුළට. හතර වෙනියට මං මේ වමනේ දාන්නේ තමුසෙගෙ චූ ගද ඉවසා ගන්න බැරිව අප්පිරියාවට මිසක් අජීර්ණයක් නිසා නෙවෙයි”
ටික වෙලාවක් සද්ද නැතිව හිටිය එයා ආපහු මෙහෙම කිව්වා.
“එක්කෝ දොස්තර කෙනෙක් ළඟට යන්න ඕන තමයි. මොකද, තමුසේ වෙන දවස්වල බීලා කරන දේ, ඊයේ රෑ අමුවෙන් කළේ මොකද කියන එකට හේතුව මට දැන ගන්න ඕන”
මං මේ ෆෝන් එක පැත්තකින් තියලා ෆ්‍රිජ් එක හෝදන ගමන් ඉන්නේ. ඔයාලගේ අලුත් අවුරුද සුභපැතුම්වලට උත්තර දෙන්න පරක්කු වුනා කියලා තරහ වෙන්න එපා හොඳද!
මැදිවියේ සර්ප්‍රයිස් උපන් දින පාටිය
මං මැදිවියට එළඹිලා කියන හැඟීම මුලින්ම මට දුන්නේ මගේ ඔෆිස් එකේ වැඩ කරන සෙට් එක. මං එයාලා ගේන ලියුම්, ෆයිල් කියවන්න “කණ්ණාඩිය කෝ“ කියලා පෙරළගෙන හොයන වෙලාවට, කට කොනකින් හිනා වෙලා “ඔය සර්ගේ ඔළුවේ තියෙන්නේ!“ කියලා කිවිවේ හරිම දෙගිඩියාවන්. මොකද මං නිතරම හිතපු දෙයක් තමයි මට සුපිරි මතකයක් තියෙනවයි කියන එක. මට මොනව හරි අමතක වෙලා කියලා කව්රු හරි අඟවනවට වත් මං කැමැති නෑ. ඒ නිසා පළවෙනි දවසේ එයාලා කණ්ණාඩිය පෙන්නුවේ සෑහෙන්න තෙපර බාලා.
ඊට පස්සේ එයාලා කණ්ණාඩිය ඔළුවේ කියලා කියනවා වෙනුවට මං එක හොයන්න පටන් ගන්නකොටම අතේ තියෙන ෆයිල් එකක් හරි, නෝට් පොත හරි මේසේ උඩ තිරස්ව හිටවනවා. දැන් මේ සංඥාව මට වගේම මගේ ඔෆිස් එකේ හැමෝටමත් පුරුදුයි.
පස්සේ මේක කණ්ණාඩියට විතරක් සීමා නොවී පුළුල් පරාසයක පැතිරුණා. ඉතින්, එක දවසක් මං පිළිවෙලට ඇඳගෙන ඔෆිස් ගියා. ඇත්තටම එදා මට යන්න තිබුණේ ඉලෙක්ෂන් ඔෆිස් එකට. මං ගෙදරින් පිටත් වෙනකොට එහෙම කිවවා වගේ මතකයි. ඒත් මගේ තරුණ, කඩවසම් රියදුරා අර නිඳි කිරා වැටිච්ච මිනිහා කරත්තේ බැඳගෙන පුත්තලං ගිය ගොනා වගේ තමයි. ඒ ගොනා ගම වටේට රවුමක් ගිහින් ආයෙමත් ගෙදර එනවා වගේ මගේ රියදුරත් ගමන පිටත් වෙනකොට කොහෝ යන්න කිව්වත්; පාරෙදි ගමන් කරන්න ඕන දිසාව අතින් පෙන්නුවේ නැත්තං කෙළින්ම යන්නේ ඔෆිස් එකට. ඔෆිස් එකෙන් පිටත් වුනාම කෙළින්ම යන්නේ ගෙදරට. බැරි වෙලාවත් මට නින්ද ගියොත්, අනිවාර්යයෙන්ම යන්නේ අර කිව්ව ගමනාන්තයන් දෙකකින් එකකට තමයි. ඒ නිසා මේ කියන දවසෙත් එයා මං කෙළින්ම අරගෙන ගියේ ඔෆිස් එකට.
මං ඔෆිස් එකට එනකොටම කට්ටිය වෛනදට වඩා ටිකක් හිනා වෙලා මං දිහා බැලුවා. “අද සර් හැඩ වෙලා!“ කියලත් කිව්වා. ඒත්, මට ඒක එච්චර දැනුනේ නෑ. මං ඇවිල්ලා වාඩි වෙනකොටම මගේ බ්‍රාන්ච් එකේ කට්ටියම ඇවිල්ලා කාමරේ පිරුණා.
“මොකද මේ හැමෝම!“ මං සුපුරුදු තරහෙන් ඇහුවා. හේතුවක් ඇතිව හරි නැතිව හරි ඔෆිස් එකේ ඉන්නකොට, කේන්තියෙන් ඉන්න එක මගේ නවීන කළමනාකරණ ශෛලිය බව හැමෝම දන්නවා. ඒ වෙලාවට කට්ටිය ෆුල් සයිලන්ස්. කිසිම කතාබහක් නෑ.
“හැමෝගෙම ෆයිල් එකපාර බලන්න නම් ඔන්න බෑ හොඳේ“ මං සූර පප්පා එකේ ඊජිප්තු විජ්ජාකාරයා වගේ කිව්වා. බ්‍රාන්ච් එකේ ඉන්න පරිනතම නිලධාරිතුමිය තමන්ගේ ෆයිල් එක මගේ මේසේ උඩින් තිබ්බා.
“මේක මොකක්ද?“ කියලා අහන ගමන් මං පුටුව කරකවා කරකවා වට පිටාව බලන්න පටන් ගත්තා. ඔන්න එතකොටම අර නෝනා ෆයිල් එක කෙළින් හිටෙව්වා. වැඩේ හරි. ඔළුව අතපත ගාලා කණ්ණාඩි කුට්ටම හොයා ගත්තා.
මං ෆයිල් එක අරගෙන “දැන් මං මේක එක්ක මොනවද කරන්න ඕන?“ කියලා කල්පනා කරන්න පටන් ගන්නකොටම ඒ නෝනා “සර්, මිනිට් එක!“ කියලා කිවිවා මං ලියුමත් පෙරළාගෙන පිස්සුවෙන් වගේ මේසේ අතපත ගානකොට “ආ සර් පෑන කියලා!“ එයා තමන්ගේ පෑන දුන්නා. මං හැමදාම පෑන අමතක කරලා එන බව දන්න නිසා එයාලා මං අත්සන් නොකර වට පිට බලන කොට තමන්ගේ පෑණ දෙන එක දැන් අපේ ඔෆිස් එකේ තවත් එක සම්ප්‍රදායක්. මං පෑණ අතට අරගෙන ආයෙමත් ටිකක් කල්පනා කරනකොට, ඒ කරුණාවන්න නෝනා ආයෙමත් තමන්ගේ යුතුකම ඉෂ්ට කළා.
“සර්, ලියුමේ මුල් කොපියේ දිග අත්සනයි, මිනිට් එකට කෙටි අත්සනයි දාන්න ඕන!“
ඇත්ත නේන්නම්, මං ලියුමේ කෙටි උත්සන දාලා, මිනිට් එකට දිග අත්සන දාලා. මං එහෙම කළා. ඒත් සියල්ලෝම මොකුත් නොකියා මං දිහා බලාගෙන ඉන්නවා.
“තවත් මොනව හරි අත්සන් කර ගන්න තියෙනවද?“ කියලා මං ඇහුවා.
“නෑ සර්, ඒත්…..!“ එයාලා තෙපර බානවා.
“ඒත් මොකද?“
“සර් අද අපට සර්ප්‍රයිස් පාටි එක දෙන දවසනේ…! කෙනෙක් කිව්වා.
“ඇත්තට! ඒ මොකටද?“
“සර් වෙන දවස්වල එහෙම කළා නේ. ඒකයි!“ එයාලා කිව්වා.
“මං මොනවද කළේ?“
“සර්, ගිය අවුරුද්දේ උදෙන්ම කේක් එකක් ගෙනැල්ලා, තව බොන්න බීම ගෙනැල්ලා හැමෝටම එන්න කියලා උදෙන් සංග්‍රහ කළා!“ කෙනෙක් කිව්වා.
“ඊට කළින් අවුරුද්දේ, දවල්ට අයිස්ක්‍රීම් ගෙනැල්ලා හැමෝටම දුන්නා!“ තව කෙනෙක් කිව්වා.
“ඊටත් කළින් අවුරුද්දේ සර් ගෙදර හදපු ඉස්සො වඩේ ගෙනැල්ලා දුන්නා!“ පිටිපස්සේ හිටිය ගෑණු ළමයෙක් කිව්වා.
“ඒක නම් වෙන්න බෑ. ගෙදර හදන ඉස්සො වඩේ ගේන්න කිසිම විදිහක් නෑ. මොකද අපේ ගෙදර කවදාවත් ඉස්සො වඩේ හදන්නේ නෑ. මං ඉස්සො වඩේ ගන්නෙම 174 බස්වල වඩේ විකුණන වයසක මෑන්ගෙන්“ මං කිව්වා.
“අර කොණ්ඩේ පැහිච්ච මෑන්ගෙන් නේද සර්?“ දැන් අලුතෙන් දාපු කෝච්චියෙන් දිනපතා බෙලිඅත්තේ ඉඳලා වැඩට එන සංවර්ධන නිලධාරියෙක් ඇහුවා.
“ඔව් ඔයා කොහොමද දන්නේ?“ මං ඇහුවා.
“නෑ, එදා සර් ගෙනාපු වඩේවල සුදුපාට කෙස් ගස් වගයක් තිබ්බා. ඉතිං මං නිකං අනුමානෙට කිව්වේ!“ මිනිහා ඇඟට පතට නොදැනී කියලා දැම්මා.
“ඒකෙන් වැඩක් නෑ!“ මං ආයෙමත් මගේ සුපුරුදු නිලධාරි පෙනුමට ආරූඪ වෙන ගමන් මෙහෙම ඇහුවා. “දැන් ඇයි මං අවුරුද්දක් ගානේ ඔහෙලට පාටි දීලා තියෙන්නේ. අනික මේ දවසටම, සර්ප්‍රයිස් පාටියක් දෙන බව ඔයාලා කොහොමද දන්නේ“
“ඇයි සර්, අද සර්ගේ උපන් දිනේ නේ!“ එකියක් කිව්වා.
අනින එතකොට මට එකාරටම මතක් වුනා. ඔව්නේ, මං මේ ඉන්නේ මං කවදා හරි දවසක ඉපදුනු නිසා නේද කියලා. මං ඉපදිච්ච කෙනෙක් නම්, මට උපන් දිනයක් තියෙන්න ඕන නේද කියලා.
“හිතුවද මං අමතක වෙලා හිටියේ කියලා. මට හැම දෙයක්ම හොඳටම මතකයි. මං කොහොමටත් දවල් වෙලා පාටියක් දෙන්න තමයි හිටියේ. අමතක වුනයි කියලා මට අපහාස කරන්න එපා!“ මං කිව්වා.
“සර්ම තමයි අපට ගිය සතියේ කිව්වේ අද උදේම ඇවිල්ලා පාටිය ගැන මතක් කරන්න කියලා!“
“මං ගිය සතියේ ස්ටාෆ් මීටින් එකක් ගත්තේ නෑ නේ. එහෙම කියන්න“
“නෑ සර් පෞද්ගලිකව තමයි කිව්වේ!“
“පෞද්ගලිකව! එක එක්කෙනාට!“
“ඔව් සර් වෙන කාටවත් කියන්න එපා කියලා අපි හැමෝටම වෙන වෙනමම කියලා අද උදේම ඇවිත් උපන් දිනේ සර්ට මතක් කරන්න කියලා. එහෙම හැමෝටම කියලා තියෙන බව අපි දන්නේ උදේම සර්ගේ කාමරේට ආවම තමයි!“
“මං එහෙම කළේ හිතා මතාම තමයි!“ මං ටක් ගාලා කිව්වා. “ඒක තමයි අද සර්ප්‍රයිස් එක. මං අද මගේ ගානේ හැමෝටම බිරියානි දෙනවා. මං කට්ටියටම එන්න කිව්වේ, කී දෙනෙක් ඉන්නවද කියලා ගැනලා සල්ලි දෙන්න“ මං ටිකක අමුතු විදිහට හිනා වෙලා වැඩේ ගොඩ දා ගන්න හිතාගෙන කිව්වා. හැමෝම ඒකට ඇන්දුන බව පෙනුනා.
ඒත්, සල්ලි දෙන්න හිතාගෙන හොයද්දි තමයි මට දැනුනේ මොකක් හරි අඩුවක් තියෙන බව. ඉතිං මං ඒ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා. ඒක මං සාමාන්‍යයෙන් දා ගන්නේ වම් පැත්තේ කලිසං සාක්කුවේ. ඒක එතන නෑ. පිටිපස්සේ සාක්කුව බැලුවා. ඒත් නෑ. මොකටත් කියලා දකුණු පැත්තේ සාක්කුවේ බැලුවා. ඒක එතනත් නෑ. සමහර වෙලාවට මං ඒක සාක්කුවේ දා ගන්න අමතක වෙන හින්දම බෑග් එක ඇතුළට දා ගන්නවා. මං ඒක එතනත් හෙව්වා. ඒත් නෑ.
“මොකක්ද සර් හොයන්නේ?“ හැමදාම මට උදේ කෑම එක කඩෙන් ගෙනත් දෙන කාර්යාල සහකාර කොල්ලා ඇහුවා. සාමාන්‍යයෙන් මගේ හැසිරීමයි, වැඩයි ගැන අනෙක් උදවියට වඩා හොඳ දැනුමක් ඒ කොල්ලට තියෙනවා.
“මං මේ හොයන්නේ?“ මං තෙපර බෑවා. අර කොල්ලා එක පාරටම මගේ ලීඩර් ශිප් එක අබිබවනය කරමින් සිටුවේෂනල් ලීඩර් කෙනෙක් බවට පත් වුනා.
“හරි! හරි! දැන් සර් දන්නවා අද අපි කී දෙනෙක් ඔෆිස් ඇවිල්ලද කියන එක. ඒ වගේම සර් කිව්ව විදිහටම හැමෝටම බිරියානි ගෙනැල්ලා දෙයි. හැමෝම දැන් බ්‍රාන්ච් එකට යන්න!“
කට්ටියම එළියට ගියා. මං ආයෙමත් කල්පනා කරනවා. කට්ටියට බිරියානි අරගෙන දීම කෙසේ වෙතත්, දැන් මං උදේට කන්නේ කොහොමද? දවල්ට කන්නේ කොහොමද? වගේ කාරණා තමයි මං කල්පනා කළේ.
ඔන්න එතකොට තමයි හදිසියේ මතක් වුනේ අද උදේ වරුවේ රැස්වීමක් තියෙන බව. ටිකක් උදේම පටන් ගන්න රැස්වීම්වලට බරපතල ෂෝට් ඊට් එකක් දෙන සිංහල සිරිත අපේ ඔෆිස් එකෙත් තියෙනවා. ඒකෙන් උදේ කෑම වේල පිරිමහ ගන්න පුළුවන් නේද කියලා හිතනකොට මට සැනසිලිදායක හැඟීමක් ආවා. ඒත්, දෙයියනේ මගේ කට වරද්දාගෙන මං පොරොන්දු වෙච්ච සර්ප්‍රයිස් බිරියානි පාටියට මොකද වෙන්නේ!
අන්තිමට මං තීරණය කළා ඒක අමතක කරන්න. උදේම රැස්වීමට ගිහිල්ලා, එහෙන්ම වරු නිවාඬුවක් දාලා ගෙදර යන්න තීරණය කළා. සමහර විට කට්ටියත් මං ගැන දන්න නිසා වැඩේ අල්ලලා දාන්න ඉඩ තියෙනවා.
ඉතිං මං රැස්වීමට ගියා. උදේට කෑම අර කිව්ව විදිහටම ෂේප් කර ගත්තා. ඊට පස්සේ රැස්වීමේ කරුණු කාරණා ගැන බරපතල විදිහේ අවධානයකින් පසුවීම නිසා මං ඇත්තටම දවල් නිවාඬුව දාන එක අමතක වුනා. රැස්වීම ඉවර වෙලා මං කැබින් එකට එනකොට, මෙන්න බොලේ මගේ මේසේ උඩ කෑම පාර්සල් දෙකක්. එකක් නම් සාමාන්‍ය විදිහට සුදු පාට කොලේකින් ඔතලා. අනික ලස්සනම ලස්සන පෙට්ටියක දාපු, මිල අධික බිරියානි විකුණන රෙස්ටෝරන්ට් එකකින් ගෙනාපු බව සඳහන් වෙලා තිබ්බ එකක්. ඒ මදිවට ඊට එහා පැත්තේ වැල්ලවත්තේ රියෝ එකෙන් ගෙනාපු ලොකු අයිස්ක්‍රීම් එකකුත් තියෙනවා.
මට එකපාරටම හිතා ගන්න බැරි වුනා මේ සර්ප්‍රයිස් පාටිය කාගෙද කියලා. ඉතිං මං ලාවට කම්පියුස් වීගෙන එනකොටම අර මං හොඳින්ම දන්න කාර්යාල සහායක කොලුවා මගේ කාමරේට ආවා.
“මේ බිරියානි කාගෙන්ද ධනුෂ්ක?“ මං ඇහුවා.
“සර්ගෙන් තමයි ඉතිං!“ කොල්ලා කිව්වා.
“මගෙන්? ඇයි මං බිරියානි ගෙනාවේ?“
“අද සර්ගේ උපන්දිනේ නේ. ඒකයි ඔය පාටිය. සර් අද බ්‍රාන්ච් එකේ හැමෝටම බිරියානි දෙන්න කිව්වා නේ. තව රියෝ එකෙන් අයිස්ක්‍රීම්!“
“එහෙමද? එතකොට මේ අනෙක් කෑම පාර්සලේ?“ මං ඇහුවා.
“ඒ සර්ගේ උදේ කෑම එක! මං ඒක ගේනකොටත් සර් රැස්වීමට ගිහින්. ඉතිං මං ඒක එහෙමම තිව්වා!“
“ඒ කියන්නේ අද මං උදේට කාලත් නෑ කියන එකද?“
“මේකනේ සර් වුනේ. අද සර් ගොඩක් දවස්වල වගේම පර්ස් එක ගෙනැල්ලා තිබ්බේ නෑ. එහෙම දවල්වල සාමාන්‍ය කෙරෙන විදිහට මං මගේ අතින් සල්ලි දාලා සර්ගේ උදේ කෑම එක ගෙනැල්ලා තිව්වා. සර් අද කට්ටියට බිරියානි දෙන්න පොරොන්දු වුනා නේ. එහෙම නොදී හිටියොත් හරි නැති නිසා මං මගේ අතින් සල්ලි දාලා කට්ටියටම බිරියානි ගෙනැල්ලා දුන්නා!“
“එතකොට රියෝ එකෙන් අයිස්ක්‍රීම්?“
“සර් අපි විතරක් සර්ප්‍රයිස් කරලා මඳි නේ. ඉතිං මං සර් සර්ප්‍රයිස් කරන්න තමයි ඔය මංම හිතලා රියෝ අයිස්ක්‍රීම් ගෙනාවේ!“
“බොහෝම ස්තුතියි ධනුෂ්ක“ මං කිව්වා. “මං වෙනුවෙන් ලොකු වියදමක් දරලා නේද?“
“You are welcome සර්. බිලත් පුරුදු විදිහටම සර්ට පේන්න අර ටයි එක දාන්න ඕන නිසා ගහලා තියෙන පුංචි කණ්ණාඩියෙන් ඇලෙව්වා. අර තියෙන්නේ!“
පර්ස් එක අමතක වෙච්ච දවස්වල මට කෑම ගෙනැල්ලා දෙන්නේ ධනුෂ්ක තමයි. රස්සාවට අමතරව ව්‍යවසායකයෙකුත් වෙන ධනුෂ්ක ළඟ හදිසියකට පියවා ගන්න සල්ලි අතේ ගැවසෙන කෙනෙක්. මට ඒ සල්ලි දෙන්න අමතක වෙන නිසා මිනිහා සාමාන්‍යයෙන් කරන්නේ බිල අර කිව්ව පුංචි කණ්ණාඩියේ අලවන එක තමයි. හැමදාම උදේ ටයි එක දාන්න බලනකොට මට බිල පේන විදිහට. හැබැයි, ඒක පුංචිම පුංචි එකක් විදිහට අල්වන්නත් එයා වග බලා ගත්තා. මොනව වුනත් ලොක්කට නම්බුවක් තියෙනවා නේ. මේක අපි දෙන්න විතරක් දන්න රහසක් විදිහට තියා ගන්නත් අපි වග බලා ගත්තා.
ඉතිං අදත් මිනිහා පුංචි බිල් කෑල්ලක් අලවලා. බිල පුංචි වුනාට ගාන දැක්කම තමයි මට බිලේ තරම දැනෙන්න පටන් ගත්තේ. කොහොම වුනත් මං හැරිලා බලනකොට වෙනදා කරනවා වගේම ධනුෂ්ක කාමරෙන් අතුරුදහන් වෙලා. කමක් නෑ. මේ දවස්වල ගේ හදන්න දාපු ලෝන් එකේ සල්ලි අතේ තියෙනවා නේද කියලා ඊට පස්සේ කල්පනා වුනා.
එතකොටම අපේ බ්‍රාන්ච් එකේ ලස්සන මිස් කෙනෙක් මගේ කැබින් එකට ආවා. එයාගේ කට පුරාම හිනාව. සමහර විට බිරියානියි, අයිස්ක්‍රීම් එකයි හින්දා වෙන්න ඇති. මං ලකුණු ටිකක් දා ගන්නත් හිතාගෙන මෙහෙම ඇහුවා.
“බිරියානි රසයිද මිස්?“
“රසම රසයි සර්. හැමෝම සර්ට ස්තුති කළා. සර් ගොඩක් අගේ කළා!“
ටිකක් වියදම් වුනත් නම්බුව බේරා ගන්න ලැබීම ගැන හිතලා හරි හිත හදා ගන්න පුළුවන් නේද කියලා හිතලා මං ඊළඟ කෑල්ල කිව්වා.
“යමක් දෙනකොට වටිනා දෙයක් දෙන්න ඕන. මං ඔය වියදම් ගැනත් එච්චර හිතන්නේ නෑ නේ!“
“ඇත්ත තමයි සර්. කට්ටිය හැමෝම ධනුෂ්කටත් ස්තුති කළා ඒකට!“
නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්
දඟ යන්න “ජංඟා” යන සංස්කෘත පදයෙන් බිඳී සැකසී ඇත. “ජංගා යුග්මය” යනු කලවා දෙකයි. කලවා දෙකට ශිෂ්ට මිනිසුන් කියන්නේ “ඌරු” පෙදෙස කියාය. මේ යෙදුම හා “ඌරා” නම් තිරිසන් සතා අතර කිසිදු සම්බන්ධයක් නැත.
ඌරාට
ලිංග භේදයක් තිබුණද, ඌරු
පෙදෙසට ලිංග භේදයක් නැත. ඌරාගේ ගැහැණු සතාට ඊරි කීවාට, ස්ත්‍රියකගේ කලවයට “ඊරි පෙදෙස” නොකියන්නේ
එහෙයිනි. එය පුරුෂ ලිංගික පදයෙන්ම “ඌරු” පෙදෙසයි. මා දන්නා පරිදි සාහිත්‍යයේ
කිසිදු තැනක පිරිමියාගේ කලවයට “ඌරු” පෙදෙස කියා යෙදී නැත. සියළු සාහිත්‍යකරුවන්ට
කිචි කිචිය ඇත්තේ ස්ත්‍රියගේ කලවා සමග බවට මෙය සාක්ෂියකි. අප කව්රුත් දන්නා පරිදි
ස්ත්‍රියගේ කලවා යුග්මය පිරිමි සිත තුළ නොමියන පැන්ටසියකි.
එහෙත්,
ස්ත්‍රියකගේ ඌරු පෙදෙස අනවසරයෙන් ඇස
ගැටීම, හා විශේෂයෙන් ඒ
ඌරු පෙදෙසේ ලපයක් ඇති බවට මතකයේ තිබීම මාරාන්තිකය. ස්ත්‍රියකගේ කලවයේ උපන් ලපයක්
මත්තේ සිය ජීවිතය අහිමි කරගත් මිනිසා පිළිබඳ වූ එය වෙනම කතාවකි.
මිනිසාගේ
ශරීරයේ අස්ථි වර්ග 4ක් ඇත.
දිග අස්ථි, කෙටි
අස්ථි, වක්‍ර අස්ථි හා
අක්‍රමවත් අස්ථි යනු ඒවාය. මෙයින් දිගම අස්ථිය උර්වස්ථිය බව, අප කුඩා කළ ‘මිනිසාගේ අස්ථි පඤ්ජරය’
පිළිබඳව දේශනයකට පැමිණි වෛද්‍යවරයෙක් කීවේය. මෙනිසා, ඕනෑම කලවයක් එකල මගේ කුතුහලය ඇවිස්සීය.
මිනිස්
සිරුරේ දිගම අස්ථිය!
වීදාගම
මෛත්‍රී මහනාහිමියන් විසින් රාහුල කුල කුමරුවා මහන කමට ඉල්ලීමේ සංසිද්ධියට ඌරු
පෙදෙස සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි නැත. එහෙයින් මේ පූර්විකාව නිකංම නිකං ප්‍රලාපයක්
වීම වැළැක්විය නොහැක.
කුසුමා
ටීචර් යනු මා බාලාංශ පන්තියේ ශිල්ප හදාරද්දී අපේ පාසලේ සේවය කළ ගුරුතුමියකි. ඇය
මාතර ප්‍රදේශයේ කෙනෙකු බවට යාන්තම් මතකයක් ඇතිවා මිස වැඩිදුර විස්තරයක් මගේ මතකයේ
නැත. දිනක් අපේ කුඹුරේ ගොයම් ගන්නා දවසේ කුසුමා ටීචර් අපේ ගෙදර ආවාය (ගොයම් ගැනීම
ලෙස අප නම් කරන ලද්දේ කුඹුර කපා, එම ගොයම් මැඩවීම සඳහා කමතට ගෙන ඒමයි). ඇයටත්, ඇගේ යෙහෙළියන් වූ ටීචර්ලා කිහිප
දෙනෙකුට කුඹුරේ ගොයම් ගන්නවා බැලීම අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා පැමිණ, ගොයම් ගන්නා පිරිසට කෑම පිලියල
කිරීමට ද අම්මාට උදව් කළෝය.
මගේ
මතකය නිවැරදි නම් එදින අපේ වත්තේ තුඹසක පිපුනු ඉඳලෝලු හා වට්ටක්කා ව්‍යාංජන වශයෙන්
පිසිනි. මා මේ සිද්ධියට සම්බන්ධවන්නේ කුසුමා ටීචර් අම්මාට උයන්නට උදව් කරන
අවස්ථාවේ දීය.
වර්තමානයේ
මහනකමට කොල්ලෙක් ලබා දීමේ එක් නිර්ණායකයක් වන්නේ උගෙ තක්කඩිකමයි. දෙමාපියන්ට හා
ගුරුවරුන්ට මොන ආකාරයෙන්වත් ආණ්ඩු මට්ටු කිරීමට නොහැකි විතණ්ඩයා “පංසලටවත් දීලා
හදා ගන්න පුළුවන්ද බලන්න ඕන” යැයි තීරණය කර සසුනට පූජා කිරීම වර්තමානයේ එක්
නිර්ණායකයකි. උණ පුරුකේ දැම්මත් ඇද නෑරෙන බලු වලිගය මෙන් මේ බොහෝ කුල කුමරුවන්ගේ
ගතිය මැරූවත් මඟ හැරෙන්නේ නැත. ඌ අඛණ්ඩවම විතණ්ඩකම් කරයි.
දරුවන්
සසුනට පූජා කිරීමේ තවත් නිර්ණායකයක් වන්නේ දරිද්‍රතාවයයි. දරුවන් බහුල පවුලක
දුප්පත් කම නිසා දරුවන්ට කෑමට යමක් උපයා-සපයා දිය නොහැකි තත්වයක් තුළ “අඩු තරමේ
එකෙක්වත් බඩපුරා කාලා බීලා හොඳට ඉගෙන ගනියි නේද” කියා ඇතැම් මාපියන් දරුවා සසුනට
පූජා කරති. එහෙයින් උන්නාන්සේලා සාමනේර කාලේ සිටම මදාවියන් වීම හෝ බඩජාරියන් වීම
අප විවේචනය කළ යුත්තේ මේ පසුබිම ද සිත්හි තබාගෙනය.
දරුවා
මහනකමට සුදුසු බවට තීරණය කළ වීදාගම හිමියන් කොළුවාගෙන් ආගිය තොරතුරු විමසා ඇත.
තමාගේ පියා නොමැති බවත්, වැන්දඹ
මව සමග ජීවත් වෙන බවත්, ඇය බත්
පිසීමට සූදානම් වෙද්දී තමා ඉස්සෙක්, මගුරෙක් හෝ ලොකු වැලිගොව්වෙක් අල්ලා ගැනීමට පැමිණි බවත් කුඩා කොළුවා
(ගීතයෙන්) කියා ඇත.
අනතුරුව,
දරුවා සසුනට ලබා දෙන ලෙසට ඉල්ලීමක්
කිරීමට වීදාගම හිමියන් දරුවාගේ ගෙදරට ගොස් ඇත. උන්වහන්සේ වඩින අවස්ථාවේ, මිඳුළ මැද කොරහක් තබාගෙන, නෑඹිලියක් අතින් ගෙන ඇය බිමට නැඹුරු
කරගත් මුහුණෙන් යුතුව හාල් ගරමින් සිට ඇත. ඇයට මහනාහිමියන්ගේ වැඩීම හාංකවිසියක්වත්
නොවීය. උක්කුට්ටියෙන් වාඩි වෙන විට ඇඳ සිටි චීත්තය, දන හිසේ පටලැවෙන බැවින් ඇය එය දනට ඉහළින්
උස්කරගෙන සිටියාය. තවමත් විසි විය යාන්තමට ඉක්මවූ ඇගේ දඟ යුග රන්වන් පැහැයෙන්
දිදුලනු මහනාහිමි දකින්නට ඇත. රාහුල හිමි නම් එය නිවැරදිවම දුටු බවට කාව්‍යසේකරයේ
එන මේ කව සාක්ෂියකි.
“නුපුබුදු
තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”
රාහුල
හිමි පවසන්නේ තරුණ බැමිණියගේ කළවා පෙදෙස නොපීදුනු තැඹිලි මලක් මෙන් රන්වන්
පැහැයෙන් දිදුලන බවයි. මේ තරුණ සුරූපී වැන්දඹුවගේ දඟ යුඟ යාන්තමට දුටු වීදාගම
හිමියන්ට කුමක් සිතෙන්නට ඇද්ද? සිය
අන්තේවාසිකයන්ට කවිකම පෙන්වමින් උන්වහන්සේ මෙසේ කියා ඇත.
සිය
මෑණියන් දෙස නිරාමිසම නොවන හොර බැල්මක් හෙළමින්, කවියක් කියූ වීදාගම හිමියන් දුටු රාහුල කොළුවා ඒ
සමගම ඊට පිළිතුරු කවි දෙපදය පද බැඳ ඇත.
එදා
කුසුමා ටීචර් අපේ ගෙදර ආ දා, මා
අහම්භයෙන් මෙන් කුස්සියේ දොරකඩින් මිඳුළට බසින විට (මට වයස අවුරුදු 5කි) කුසුමා ටීචර් පොල් ගස යට
උක්කුට්ටියෙන් ඉඳගෙන හාල් ගරමින් සිටියාය. මම වහාම ඇය දෙස බලා මේ කවි දෙපදය
කීවෙමි.
“හාල්
ගරන කත මිඳුලේ - දැක මහනෙක් ලෝභ කළේ”
මගේ
සාහිත්‍ය වින්දනයේ ඉතිහාසය එවැනි හීනි කතාවලින් ද ඔපවැටී ඇත.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යනු සිංහල සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. උන්වහන්සේගේ නිර්මාණ මඟහැර සිංහල සාහිත්‍යය පිළිබඳව සාකච්ඡා කළ නොහැක. උන්වහන්සේ පිළිබඳව ජනශ්‍රැතිවල කියවෙන කතාවක් මගේ මිතුරන් සමග බෙදා හදා ගන්නට සිතුවෙමි.
මේ
කතාන්තරය, රන්රෝස පොතේ එන
ෂෝන් ෂාමීට්ගේ හිතේ අට හැවිරිදි දැරිය සුසේන් වෙනුවෙන් ඉපදුනු කතා මෙන් දිගු කලක්
මා සිතේ රැඳී පවතින කතාන්තරයකි. මේ කතා මට පවසන ලද්දේ මීට වසර 10කට පෙර මිය ගිය මගේ මව විසිනි. ඇගේ
නම ඥානවතී නම් විය. ඇය ප්‍රායෝගික ඥානයෙන් සිය නමට සාධාරණයක් ඉටු කළ බව මම විශ්වාස
කරමි.
ඇගේ
කතාන්තර කීමේ ශූරතාව නිසාම තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මගේ මනසේ ඇඳී පවතින්නේ අතිශය
හිතුවක්කාර පුද්ගලයෙකු වශෙයෙනි. ඇය නිතරම මෙසේ කීවාය. “හිතුවක්කාර පුත්‍රයා ලෝකය
අළුත් කරයි”
පසුකාලයේ
ඇය රාහුල හිමි සම්බන්ධයෙන් ඇඟවූ මතය සනාථ කරන සාධයකයක් මා මාර්ටින් වික්‍රමසිංහගේ
සිංහල සාහිත්‍යොදය කතා නම් ග්‍රන්ථය කියවන විට මට හමුවිය. එහි මෙවැනි වාක්‍යයක්
ඇත.
“ඇතැම්
විට රහල් හිමිහු පෙර ගී කාව්‍යයන් බැන්ද ගිහියන් පසුබාමින්, කාමිනියකගේ විලාශය වර්ණනා කළහ;
සිංහල සාහිත්‍යොන්තිය අපේක්ෂා කර
උන්වහන්සේ මෙසේ කවි රචනයට පටන් ගැනීම අන්‍ය කවීන්ට ද රුකුල් වී ය” (එකතු කළ කෘති 306 පිටුව)
සාහිත්‍යකරුවෙකු
වශයෙන් උන්වහන්සේ තමා වටා ගොඩ නැගුන සිවිල් බන්ධන, සංස්කෘතික තාප්ප හා සදාචාරාත්මක ප්‍රවාදයන් නිදහසේ
බිඳ දැමූහ. උන්වහන්සේ සම්බන්ධයෙන් අම්මා මා සමග කී ජනකතා නිර්මාණකරුවෙන්ගේ කතා තුළ
මට හමුවන්නේ, සම්භාව්‍ය
සාහිත්‍ය කඩතුරාවෙන් වසා දැමූ සැබෑ තොටගමුවේ රාහුල හිමියන්ගේ චරිත ලක්ෂණ බවට මම
විශ්වාස කරමි.
මහා
සාහිත්‍යකරුවෙකු බවට පත්වුවද රාහුල හිමියන්ගේ ළමා කාලය පිළිබඳව තොරතුරු අප්‍රකටය.
ඒ පිළිබඳව ජනප්‍රවාද දෙකක් අම්මා මට කියා ඇත. ඉන් එක් ජනප්‍රවාදයකට අනුව රාහුල
හිමි යනු, උණ්වහන්සේගේ
ගුරු හාමුදුරුවන් වූ වීදාගම මෛත්‍රී මහනාහිමි මහපාරෙන් අහුලාගත් කොළුවෙකි.
දිනක්
වීදාගම මහනාහිමියන් සිය අන්තේවාසිකයන් සමග ගමනක් යමින් සිටියහ. එක්තරා වෙල් යායක්
අසලින් වැටුනු මාර්ගයයක් ඔස්සේ ගමන් කරමින් සිටි උන්වහන්සේට වක්කලමක බිලීබාමින්
සිට කුඩා දරුවෙකු දක්නට ලැබී ඇත.
“බලන්න
අපෙ හාමුදරුවෙනේ අර කොල්ලා මේ අටවක පෝය දවසෙත් කරන පව්කාරකම්වල හැටි!” ඒ දර්ශනයෙන්
විස්සෝපයට පත් අන්තේවාසිකයා කීවේය. අන්තේවාසිකයන්ගේ ස්වභාවය කොහොමටත් එබඳුය. සිය
නායකයාගේ “නිල” ගැන හොඳින් දන්නා ඔවුහු අවස්ථාවක් ලත් විගස, තැනක් නොතැනක් නොබලා සිය නායකයා කුචු
කවති.
වීදාගම
මහ නාහිමියන් ද මේ දර්ශනයෙන් අතිශය කම්පාලවට පත්වූහ. අංගුලිමාල සොයා ගොස්, ඔහු සංසාරගත පවින් මුදවාලනු වස් මහා
කරුණා පෙරදැරිව දමනය කොට ධර්මය දේශනා කළ බුදුන් වහන්සේගේ පිළිවෙත සිහියට නඟාගෙන
ධෛර්යය වඩවාගත් උන්වහන්සේ, වලක්කමේ
බිලීබාන හත් හැවිරිදි ගැටයා වෙත, එඩිතරව අභිමුඛ වූහ. ජන සාහිත්‍යයට අනුව උන්වහන්සේ සිය පළමු පැනය මෙසේ
කවියට නඟා ඇත.
“ළමයෝ
නොදන්නෙ ද අද අටවක නේද?”
කුඩා
රාහුල දරුවා ඊට කවියෙන්ම මෙසේ පිළිතුරු දී ඇත.
“නෑ එක
වකයි එය ඔබ හට නොපෙනේද?”
ඔහු
දක්වා ඇත්තේ සිය බිලීකටුවයි. “වක” යන්නට නැවුනු යන අර්ථය දේ. බිලී කටුව නැවී ඇති
හෙවත් වක ගැසුනු උපකරණයකි. ඔහු ඉන් අදහස් කරන ලද්දේ බිලී කටුවේ බොහෝ වකයන් නොමැති
බවත්, ඇත්තේ එක්
වකයක් පමණක් බවත්ය. දරිද්‍රතාව උරුම කරගත් කුසගින්නේ පෙළෙන මිනිසාගේ දහම, කුසපිරුණු පණ්ඩිතමානී උගතුන්ගේ
දහමෙන් වෙනස් බවට ජනකතාකරු ප්‍රබල උත්ප්‍රාසයකින් යුත් ව්‍යාංගාර්ථයකින් පෙන්වා දී
ඇත්තේ එලෙසිනි.
කොල්ලාගේ
පිළිතුරෙන් නොසතුටට පත් මහ නා හිමි මෙසේ විමසා ඇත.
“කොල්ලෝ අටවක දා මෙහෙම පව් කරලා කොයි
වල යන්නද හිතාගෙන ඉන්නේ?”
වල යනු
ලෝකය යන්නට සමාන පදයකි. ඒ අනුව මහ නා හිමි අදහස් කරන ලද්දේ “කොයි ලෝකේ යන්නද?”
යන්නයි. බෞද්ධ පිළිගැනීමට අනුව අපායද
ලෝකයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී “කොයි ලෝකේ යන්නද?” යන්නෙහි ඒකායන ව්‍යාංගාර්ථය වන්නේ “අපායට තමයි
යන්න වෙන්නේ!” යන්නයි.
“මේක
හෙළ වල. මේ වලේ නැත්තං මං පහළ වලට යනවා!” යැයි කොල්ලා උත්තර දී ඇත.
ඔහු
නැවතත් එයින් හඟවන්නේ තමන් කරමින් සිටි කාර්යයයි. වල යනුවෙන් ඔහු අදහස් කළේ
වක්කලමයි.
“මේ
වලෙන් මාළුවෙක් බා ගන්න බැරි වුනොත් අනෙක් වක්කලම කරා යන” බව ඔහුගේ ප්‍රකාශයේ
අර්ථයයි.
දරුවාගේ
තියුණු බුද්ධිය පිළිබඳව පැහැදුන් මහනාහිමි ඔහු නම් නිසැකවම මහන කිරීමට සුදුසු කුල
දරුවෙක් බවට තීරණය කර ඇත.
ඒ අනුව,
බුදුන් අනුයමින් මේ දරුවා මහන කිරීමට
ඔහුගේ දෙමාපියන්ගෙන් අවසර ගැනීමට වීදාගම මෛත්‍රී හිමි, දරුවාගේ මව්පියන් හමුවීමට තීරණය කරයි.
මහ නා
හිමියන්ට තරුණ වැන්දඹක් වූ මේ දරුවාගේ මව හමුවීම පිළිබඳ කතාව මීටත් වඩා රසවත්ය.
හෙන්දිරික්කා මල්
මයිනහම අදින වාරයක් පාසා පොල්කටු අඟුරු ගොඩ විනිවිද ගිනිදැල් මතුවෙයි.
කලුපාට අඟුරුගොඩ අතර පුංචි විවරයන්ගෙන් එළියට පනින ගිනිදලු; ‘සුළඟ, කලු අඟුරුගොඩ සමග සහවාසයෙන් උපන් සුජාත දූ දරුවන් නොවේදැ’යි ඉන්දීවරට සිතුනේ ඔහු උසස් පෙළ සඳහා සිංහල පාඩම් කරන සමයේදීය. ඇතැම්විට
මෙම ගිනි දලු, කැබැලිවලට කැඩෙමින්, කලු අඟුරු ගොඩෙන් පලා යෑමට මෙන්, සුළඟට මුසුවී,
ක්ෂණයකින් වා තලය තුළ අන්දමන්දව අතුරුදන් වී යයි. ඒ හැම වාරයක් පාසාම ඉන්දීවරට
සිතුනේ සිය ජනනයට වෛර කරන ගින් දලු, කලු අඟුරුගොඩ හැරපියා පලා යෑමට අනවරත අරගලයක
යෙදෙනා බවකි.
පාසැල් සමයේ ගිනිදලු හා පොල්කටු අතර මෙම සටන සම්බන්ධ චමත්කාරය තමා
මෙන්ම තවත් අය රස විදින්නේද යන්න දැන ගැනීමට දැඩි කුහුලක් ඉන්දීවරට විය. ගිනි දලු
ඉපැද්දීමට කලු අඟුරු ගොඩට උපකාර කරනා සුළඟ, ඒ ගිනි දලු තමාගේද සහජාතී දරුවා ලෙස
පිළිගෙන සිය, දීර්ඝ ගමන් මාර්ගය ඔස්සේ රැගෙන යෑම වෙනුවට එක් ක්ෂණකින් විනාශ කර
දැමීම කුරිරු කමක් නොවේදැයි ඔහු නොයෙක් වර කල්පනා කළේය. සුළඟ යනු විශ්වාස නොකළහැකි
වස්තුවකි. මල්වල සුගන්ධය මෙන්ම කසල වල දුර්ගන්ධයද සමව ඇද, වැළඳ හමනා සුළඟ විශ්වාස
කළ හැක්කේ මුග්ධයෙකුට පමණි. අදිසි සුවඳක් මෙන් ජීවිතේ නොසිතූ විටක ළඟ දැවටෙන එය ඊලඟ
නිමේෂයේදී කිසිවෙකුටත් නොදන්වා පලා යන්නේ අන් අයගේ ජීවිත සම්බන්ධයෙන් තමාට වගකීමක්
නැතැයි තර්ක කරනා විතන්ඩවාදියෙකු මෙනි. අනෙක් අතට මල්වල සුවඳ මෙන්ම කසල වල දුර්ගන්ධයද
සුළඟට මුසු කරමින් එය චපල සිත් ඇත්තෙකු බවට පත් කරනුයේ මිනිසුන් නොවේදැයි ඉන්දීවරට
නැවතත් සිතෙයි.
මයින හම ඇදීම නතර කල කම්මල්කරු අඟුරු තුළ වූ යවට අඬුවකින් ගෙන, කිනිහිරය
මත තබා තලන්නට විය. ඔහුගේ සගයාද විශාල මිටියක් ගෙන, ගතේ මුලු වීර්යයම එයට බරකොට රත්වූ
යකඩයට වැරෙන් පහර දෙන්නට වූයේ දිගු කලක් පුල පුලා බලා සිටි වෛරයක් පිරිමසා ගැනීමට
මෙනි. පුංචි ගිනි පුලිඟු පිට කරමින් කුලුගෙඩි පහරවල් දරා සිටි යකඩය, සිය දීප්තිය
තැලෙන වාරයක් වාරයක් පසා අඩු කරමින්, නිහඬවම කලු පැහැයට හැරෙන්නට විය.
“ඔයා හැමදාමත් ඔහොම මයි” ඔහුගේ නිහඬතාව දරා
ගැනීමට අපහසු නිසාදෝ හිමාලි තෙපළුවාය. “කම්මල දිහා බලා
ගත්තහම මෙලෝ සිහියක් නෑ. ළඟ ඉන්නේ කව්ද; ආවෙ කව්ද; ගියේ කව්ද කියන්න ඔයාට වගක් වත්
නෑ”
ඉන්දීවර අඩක් හැරී ඇය දෙස බැලුවේය. ඇය ඔහුගේ මේසය අසල ජනේලයට වාරුවී,
ජනේලයේ කූරු අතින් ගෙන සිටියාය. ඇගේ එම ඉරියව්ව, ස්වභාවයෙන්ම සුන්දර හිමාලිගේ
සුන්දරත්වය තවත් වැඩි කර තිබිණ.
“ඔයාට
හැම දෙයක්ම මතකයි එහෙම නම්...! තවමත්!”
ඔහු වසර දහයකුත්, මාස හතරක් හා
දින විසි දෙකක් සිය නිවසට නොපැමිණි බව ඇය සිහිපත් කළාය. වැසිබර දිනයක හිරි පොද
අතරින්, අඳුරු තිරයකින් වැසී ගිය දසුනක් පෙනෙන්නාක් මෙන් එදා ඔහු නික්ම ගිය අයුරු
ඈ මනසේ මනාව සටහන්ව ඇත. එදා ඔහු අවසන් වරට තමාගේ නිවසින් එළියට බැස යනන විට තමා
විසින් ඉටු කිරීමට ඉල්ලූ පොරොන්දුව ඉටු කිරීමට මෙන් ඔහු නැවතත් පැමිණියේය.
“ගිහිල්ලා එන්න”
තමා කුඩා දැරියක්ව සිටියදී පවා ලොකු මාමලාගේ ගෙදරයට යෑමට ඇය කැමැති
වූවාය. අයියලා තිදෙනෙකු සිටියද ඇය සිත් ගත්තේ බාල මස්සිනා වන ඉන්දීවර පමණි. ඔහු
තමාට වඩා සිව් වසරක් වැඩිමහල් වුවද, ඇය කෙලි සෙල්ලම් කරන වයසේ පසු වෙද්දී ඔහුද
කෙලි සෙල්ලෙමෙහි යෙදුනු දරුවෙක් විය. ඉන්දීවරලාගේ පවුලට මද්දුමයා එක්වී බඩ පිස්සා
ඉපදීමට වසර දොළහක් ගතවීම නිසා ඉන්දීවරට, සිය සොහොයුරන් හා එක්ව කෙළි සෙල්ලෙමෙහි
යෙදීමට නොහැකිවිය. එනිසාම ඔහුට හිමාලි හමුවෙන් තෙක් ළමා කාලය ගත කලේ හුදකලාවමය. ගොවියෙකු
වුවද ගමේ ප්‍රභූවරයෙක් වූ ඉන්දීවරගේ පියා අඩු කතාබහ ඇත්තෙකු විය. මව නිහඬ, සිය
යුතුකම් පිළිබඳව පමණක් නිරංතර කල්පනාවේ පසුවන්නියක වූවාය. හිමාලිගේ ඇසුරට පාත්‍රවීමට
පෙර පවා ඔහුගේ විනෝදාංශය වූ, කම්මල් වැඩ දෙස ජනේලයෙන් බලා සිටීම නිහඬ දරුවෙකු වූ ඉන්දීවරට
මනාව ගැලපින. අනෙක් තමාට අපැහැදිලි
කිසියම් කරුණක් නිසා නිරංතරයෙන්ම සිය නිවසට පැමිණෙන ගමේ පිරිසගෙන් පිරුණු නිවසේ
හුදකලා කාමරය, ජනේලයෙන් කම්මල පෙනෙන, එකල ඉන්දීවර සිය මව සමග බෙදා හදාගත් කාමරය
පමණක් විය. එනිසා ඉන්දීවර ගෙදර සිටී නම් වැඩි කාලයක් ගත කලේ මෙම කාමරය ඇතුලේය.
දෙනෝදාහක් සරන උද්‍යානයක හුදකලා මල් පැලයක් සේ ඔහු නිහඬවම, තමාට ආවේණික ජීවිතයක්
ගත කලේ මෙම කාමරය ඇතුලේය.
එහි යම් වෙනසක් වී නම් ඒ හිමාලිගේ ආගමනයෙනි. ඉන්දීවරගේ ළමා කාලයේ හැම
මතකයක්ම හිමාලි සමග බැඳී පවතී. සම වයසේ මිතුරන් සමග රංචු ගැසීමට ස්වයං වාරණයක්
පනවාගෙන සිටි ඉන්දීවර, පාසැල් යාමටත්. පාඩම් කිරීමටත් අමතරව සිය නිදහස් කාලය වැය කලේ
හිමාලි ඇසුරු කිරීමට පමණි. ඇය යෙහෙළියක්ද, ඥාතියෙක්ද, පෙම්වතියක්ද යන්න නිරවුල් කර
ගැනීමට උත්සාහ නොගත් ඉන්දීවර ඇගේ ඇසුර පමණක් පැතුවේය. වරක යෙහෙළියකගේ කෙළිලොල්
බවත්, තවත් වරෙක ඥතියෙකුගේ සංකීර්ණත්වයකුත්, ඒ සමගම පෙම්වතියකගේ සමීපත්වයත්, උණුසුමත්
ඔහු ඇයගෙන් අත් වින්දේය. එනිසා, ඔහු ප්‍රාර්ථනා කළේ ඇයයි. හිමාලි ඒ නමින් මිස ඉන්
එහා නමකින් අර්ථකථනය කර ගැනීමට ඔහු බිය විය. සිය හැඟීම්, පොල්කටු අඟුරු ගොඩ විනිවිදින
ගිනි දලු සේ පිටතට නොදක්වා රත්වූ යවට සිරකරගත් උණුසුම මෙන් සගවා ගැනීමට ඔහු වඩාත් කැමැති
විය. අනෙක් අතට සිය සිතැඟියාවන් හෙළි කිරීමෙන්, තමාට හිමාලි අහිමි වී අන් යමෙකු
ඉතිරිවේයැයි අනියත බියකින් ඔහු පෙළුනේය. ඔවුන් දෙනො ඇසුරු කල පාසැල් ගොස් පැමිණ
ගතකල සැන්දෑවන් මෙන්ම සති අන්ත නිවාඬු දිනයන්ද ඔහුගේ සුන්දර මතයන් අතරට එකතුවී
තිබින.
“ඔයා හිතන්නේ මට හැම දෙයක්ම අමතක වෙලා කියලද?”
ඇය පෙරළා ප්‍රශ්න කළාය.
“මං හැමදාම අකැමැති වුනු එකම දේ තමයි ඔයා ඔය ජනෙලෙ ලඟට වෙලා හාවක් හූවක්
නැතිව කම්මල දිහා බලාගෙන ඉන්න එක”
“ඇයි මං හමුදාවට ගිය එක?” ඔහු වහාම ඇයට අමතකව
තිබුණු යමක් සිහිපත් කළේය. ඇය නිමේෂයක් එක එල්ලේ ඔහුගේ දෙනෙත් දෙස බලා සිට අනතුරුව
බිම බලා ගත්තාය. ඔහු යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබලෙක් ලෙස සේවයට බැදෙන බව ඇසූ
මොහොතේ තමා ඊට විරුද්ධ වූයේ කුමන කරුණක් පදනම් කරගෙනද යන්න ඇයට මෙතෙක් පිළිතුරු
දිය නොහැකි ගැටළුවකි. සිය සිතේ තමාට පමණක් ආවේණික කොටස විවෘත කර බලන විට පවා ‘ඔහු තමා සමග විශ්ව විද්‍යාලයට යෑම වෙනුවට හමුදාවට යෑම තමා ප්‍රතික්ෂේප
කළාය’ යන්න ඇය නොපිළිගනියි. ඉන්දීවර කිසිවෙකටත් බලෙන්
පෙළඹවිය හැක්කෙකු නොවන බව ඇය දැන සිටියාය. එනිසා සිය මතය ඔහු තුළ රෝපණය කිරීමට වඩා
ඔහුට සිය අභිමතය පරිදි කටයුතු කිරිමට ඉඩ දීමට හිමාලි උගෙන සිටියාය. මෙම කරුණේදී ඇය
කෝප වූයේ ඔහු තමාගේම අභිමතයට පවා පටහැනි ලෙස ක්‍රියා කිරිම නිසාය. ඉන්දීවර හුදකලා
හමුදා සේවයට වඩා තමා සෙවනේ කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කල බව ඇය ඉඳුරාම දැන
සිටියාය. එහෙත් උසස් පෙළ විද්‍යා අංශයෙන් සිප් සතර හදාරා වෛද්‍ය විද්‍යාලයට තේරුණු
තමා, ‘ඔහුට සිය සමීප ඇසුර සපයන්නේ කුමණ ආකෘතියකින්දැ’යි යන්න ඇය සිතාගත නොහැකි විය. යමක් සඳහා පළමු පියවර තැබිය යුත්තේ තමාද
නො එසේ නම් ඉන්දීවරද යන්න ඇයට අදටත් උභතෝකෝටිකයකි. අනෙක් අතට, මේ වන විට සංවත්සර
කිහිපයක් සැමරිය යුතුව තිබුණු යම් ක්‍රියාවකට මුල්ගල තැබීමට. දැන් දෙදෙනාම ප්‍රමාද
වැඩි යැයි විශ්ව විද්‍යාලයට තේරීමෙන් අනතුරුව ඇයට පසක්විය. උසස් පෙළ ප්‍රතිඵල
විසින් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න පත්‍රයක් ඇය අතට පත්කර තිබින. ‘ඔහු හමුදාවට යනවා’ යැයි කීමට වඩා ‘ගෞරවාන්විත සිය දිවි නසා ගැනීමකට යන්නේය’
යනුවෙන් සිතීමට ඇගේ යටි සිත ඇයට බල කලේය. ඇය වඩාත් කෝපයට පත්වූයේ සිය සිත අභියස
තමා කොතරම් අසරදැයි වටහා ගැනීමෙන් විය යුතුය. ඔහු පිළිතුරක් අපේක්ෂා නොකර ඇසූ
පැණයට තමා යුතුකමක් සේ වත් සලකා පිළිතුරු ලබා දිය යුතු යැයි හිමාලි කල්පනා කලාය.
ඔහු නිහඬවම ජනේලයෙන් එපිට බලා සිටියේ නියම සොල්දාදුවෙක් පරිද්දෙනි. නියම
සොල්දාදුවා හැඟීම් මරා දමනු ලැබූවෙකු විය යුතුය.
අනෙක් අතට, තමා ඔහුට පවසන්නේ කුමක්ද යන්න හිමාලි නොදැන සිටියාය. යමක්
පවසන්නේ නම් එය තමාගේ යටි සිත පවසන පරිදි, තමා විසින් ඔහුට කරන ලද බරපතල වරදක් සම්බන්ධයෙන්
පාපොච්චාරණයක් විය යුතුය. එහෙත්, තමාගේ වරද කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඇය අසමත්
වූවාය. ඒ පිළිබඳව සිතීමෙන් හෙම්බත් වූ ඇය, දෙවන වර කල්පනා කලේ වරද තමාගේ නොව අන්
තැනක නම්, ඒ කුමක් විය යුතුද යන්නයි. එහෙත්, ඊටද ගැළපෙන සුදුසු පිළිතුරක් සොයා
ගැනීමට හිමාලී අසමත් වූවාය. වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමෙන් අනතුරුව විවර වූ නව
චින්තන අවකාශය තුළ ඉදි වූ අනාගත නිවසේ, මිඳුල, පෝටිකෝව, ඉස්තෝප්පුව, කුස්සිය, නාන
කාමරය, ගරාජය හා ඒ තුළ වූ තමාගේ අනාගත මෝටර් රථය ආදී පොදු සාධක පමණක් නොව, නිදන
කාමරය වැනි අතිශය පෞද්ගලික ස්ථාන පිළිබඳව පවා සිහින මවා ගැනීමට අපහසුවක් හිමාලිට
ඇති නොවීය. පළමු වසරේ ප්‍රායෝගික පරීක්ෂණයක් වන, කාය ව්‍යවච්ඡේදනයෙන් අනතුරුව, නිදන කාමරයේ සුව පහසු ඇඳ මත තමා සමග සයනය කරන
අනාගත ස්වාමිපුරුෂයාද මවා ගැනීමට ආයාසයකින් තොරවම ඇ සමත් වූවාය. ඔහුගේ මුහුණ
හැරුණු විට, ඔහුට දාව තමාගේ කුසින් උපදින දරුවාගේ මුහුණ පවා ඇගේ මනසේ පැහැදිළිව
සිතුවම් විය. එහෙත්, තමා පසෙකින් නිදන සිය සැමියාගේ ප්‍රතිරූපය නිතරම, අඳුරට මුසු
වූ රූපයක් පරිද්දෙන් ඇගේ සිතේ සටහන් විය. ඊට හේතුව, නියම වශයෙන් භෞතික පිරිමියෙකු
ඇගේ සිතට ඇතුළත් නොවීමම නොව, ඒ මිනිසාගේ ගුණාංග සම්බන්ධ නිශ්චිත අදහසක් ඈ මනසේ
සටහන් නොවීමයි. වෛද්‍යවරියක ලෙස තමාගේ අනාගත සමාජ සම්බන්ධතාවල වගකීම දරන ඒ මිනිසා,
උස් ප්‍රතිරූපයක් සහිත විය යුතුය. විශ්ව විද්‍යාලයට පිවිසි මුල් දිනවල පටන්ම ඈ
මනසේ ඇඳුනු ඒ සිතිවිල්ලේ ප්‍රතිඵලයක් ලෙස, අඳුරු, ආරෝහ පරිනාහ දේහකින් යුත්
මිනිසෙක්, ඒ සිහිනය තුළ ඇය සමග යහන් ගත විය. ඇතැම් විටක, ඒ අඳුරු රූපය, ඉන්දීවරගේ
නිහතමානී ප්‍රතිරූපය සමග ඡේදනය වන්නට පොර බැදුවද, එය ආයාසයෙන් යටපත් කර ගත යුතු
තරමේ පීඩනයක් හිමාලී තුළ ජනිත කළේ නැත. රැකියාවෙන් පමණක් සිය සිහිනය සමග සැසැඳුනු,
හෙට තමා සමග විවාහ වීමට නියමිත ඒ මිනිසා තම මනසේ වූ ප්‍රතිරූපය අසලට වත් පැමිණීමට
අසමත් බව වැටහෙන බොහෝ අවස්ථාවල ඈ බියෙන් සලිත වූවාය. විවාහයට දිනක් නුදුරේ සිට
සිතන කල, ඉන්දීවරට වඩා මේ මිනිසාට සිය සිහන යහනට පිවිසීමට සහ සිය කන්‍යාභාවයට
උරුමකම් කීමට ඇතිවූ හැකියාව පිළිබඳව, නිශ්චිත යමක් සිතා ගැනීමට තමා අසමත් බව පමණක්
ඇය පසක් කළාය. මෙතෙක් තමා සෙවනැල්ලක් සමග යහන් ගතවූ බවත්, හෙට සිට ඒ වෙනුවට
භෞතිකයක් පැමිණෙන බවත් පමණක් ඇය පැහැදිලිව දැන සිටියාය. සෙවනැල්ල සහ භෞතිකය අතර
වෙනස වටහා ගැනීමට තමාට උපකාරී වනු ඇත්තේ එළඹෙන අනාගතයි.
සිහින් සිරිපොද වැටෙන්නට විය. ගෙයි ඉදිරිපිට දැඩි නියඟයට කහ පැහැ ගැන්වනු වෙල් යාය දුරාසාරයෙන් වැටෙන වැහි බිඳු පවා උරා ගත්තේ දැඩි කෑදර කමකිනි. වියලි පොලවට වැහි බිඳු පතිත වන විට ඉන් වහනය වන්නේ පෙම්වත් සුවඳකි. මේ සුවඳ ‘තමාට විඳගත හැක්කේ අද පමණක්ය’ යන්න ඉන්දීවරට හදිසියේම කල්පනා විය. මහ වැසි වැටුනු පසු හෙට යළිත් මේ පොලව මත නැවුම් සුවඳක් ඉතිරි වන්නේ නැත. තෙත බරිත මල්වර පොලව සරු ඵළදාවකට ඔබින්නේ වුවද, එහි තවදුරටත් පෙම්වත් සුවඳක් ඉතිර වන්නේ නැත.
කුඩ දෙක ඉහළාගෙන, හිමාලි සමග මහ මඟට බට ඉන්දීවරට වැහි බිදු අතරින්ම කම්මලේ, මයිනහම අදින විට කලු අඟුරු ගොඩ විනිවිද නගින ගිනි දලු පෙනේ. දැන් සුලඟ මද නිසාදෝ ගිනි දලු අඟුරු ගොඩෙන් මිදී වා තලය තුළ මුසු වීමට උත්සාහ නොගනී. නැතහොත් වර්ෂාව අතුරින් එය ඉන්දීවරට හරියට පෙනුනේ නැත. ඉන්දීවර අවිඤ්ඤාණිකව මෙන් හිමාලි දෙස හැරී බැලුවේය. ඒ ක්‍රමයෙන් ෙබාඳවී යන ඇගේ රුව සිය සිතේ සනිටුහන් කර ගැනීමකට ඔහු දැරූ උත්සාහයක් දෝ හෝ නොහොත් ක්‍රමයෙන් දිරාපත්ව ඇද වැටෙන යන ඇගේ පිළිරුව ආධාරකයකින් මොහොතක් රඳවා තැබීමට ගත් උත්සාහයකට සමාන විය. ඇගේ මඳක් හතරැස් හුරුබුහුටි මුහුණ, නලලතට කැරැලි ගැසී වැටුණු දඟකාර කොණ්ඩය, අගින් මඳක් විශාල නැහැය, නිරංතරයෙන් සිනාසෙන දෙනෙත, කල්පනාකාරී මුව, සිතිවිලි අතර බොහෝ දුර ඈතක දර්ශනයක් සේ ඉන්දීවරට මැවී පෙනින. දෙනෙතින් හා සිතින් පමණක් විඳගත් ඒ දේහ සුන්දරත්වය, වට වැහි බිඳු අතර බොඳවී ඇතැයි ඉන්දීවරට සිතින.
නිවසේ සිට කම්මල අසලට යනතෙක් දුර නිහඬතාවයකින්ම ගෙවී ගියේය. ඒ නිහඬතාව වින්දේ ඇය විසිනි.
ඔහු අවසන් වරට පොඩි මාමලාගේ නිවසට පැමිණි දිනයේද මෙවැනි රථයක් මිඳුලේ නවත්වා තිබුණු බව ජයසේට මතක ඇත. එදා උදේ ඔහු අවදි වූයේ වෛද්‍ය පීඨයට තේරුණු හිමාලි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කැඳවාගෙන යාමට පැමිණි රථය මිඳුලේ නතර කරන හඬ ශ්‍රවණය වීමෙනි. පොඩි මාමාගෙන් හෝ නැන්දාගෙන් බාධාවක් නොමැතිව, එහෙත් නිහඩව ගෙවී ගිය පැය ගනනාවකට පසු නිඳා ගැනීමට තීරණය කර ඔහු වාඩි වී සිටි පුටුවෙන් නැඟිට ඉස්තෝප්පුවේ දිග හැර තිබූ බූරු ඇඳ වෙත පියවර මැන්නේය. ජීවිතයේ විවිධ යුගවල ඔහු සිය නිවසේ නිඳා ගත් තැන් වෙනස් වූ බව ඇය සිහිපත් කළාය. කුඩා කල කෙළි සෙල්ලමෙන් විඩාවට පත් ඉන්දීවර හා හිමාලි කෑම කා හෝ නොකා, ඇගේ කාමරයේ, ඇගේම ඇඳ මත, සිය ග්‍රහණය බිඳී යාදෝයි බියෙන් මෙන් තදින් ඔවුනොවුන් වැළඳගෙන නිඳා ගත්තේතෝය. අනතුරුව, තමා යෞවනියක් වීමෙන් අනතුරුව සිය නිවසට පැමිණ රාත්‍රිය ගත කරන දිනවල ඉන්දීවර සාමාන්‍යෙයන් නිඳා ගන්නේ හිමාලිගේ කාමරයට යාබද කාමරයේය. එකලා ඇය, නිඳා සිටින ඔහුගේ ඉරියව් සිතින් මවා ගැනීමට උත්සාහ කළාය. එවන් බොහෝ දිනවල ඈ නින්දට ගියේ ඔහුගේ නිසොල්මන් නිඳි දැහැන සිහින් හඬින් ඇසෙන ගෙරවිල්ලෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි. විශ්ව විද්‍යාලයට ගොස් ගත කිරීමට සිදුවන ජීවිතය පිළිබඳව නිශ්චිත හැඟීමකින් තොරව, බොහෝවිට නිඳි වර්ජිතව ගත කිරීමට නියමිත රාත්‍රියක් ඔහුගේ නිඳි සුව විඳින හඬට සවන් දෙමින් ගෙවා දැමීමේ අතාර්කික ආශාවක් සැනෙකින් ඈ සිත තුළට කඩා වැදුනේය.
“ඇතුළට යමු” ඇය යෝජනා කළාය.
“එපා. මම මෙතන නිඳා ගන්නම්” ඔහු සැහැල්ලුවෙන් කීවේය. ඔහුගේ සැහැල්ලුව ඇය තුළ කෝපයක් ඇති කිරීමට හේතු විය. ඔහු තමාගේ ආශාවන් සම්බන්ධයෙන් උනන්දුවන් නොදක්වන්නේය යන ඇගේ සිතේ දිගින් දිගටම පැවැති කුකුස තහවුරු කර ගත්තාක් මෙන් ඇය මොහොතක් ඔහු දෙස රැවුම් දෙනෙතින් බලා සිටියාය. ඔහු සුපුරුදු සැහැල්ලුවෙන් බූරු ඇඳ මත වැතිරී දෙනෙත් පියා ගත්තේය. වෑන් රථය මිඳුලට පැමිණ නවත්වන හඬින් පිබිදෙද්දී ඔහුට හැඟී ගියේ තමා පෙර දින නිඳා ගත්තේ ඉතා ස්වල්පයක් හෝ නිඳා නොගත් බවකි. එදා සිය නිඳි දැහැන බිඳි රථය සම්බන්ධයෙන් ඇති වූ කෝපයට සමාන හැඟීමක් ඔහු සිත ඇති විය.
“මං නතර වෙන්නම්” ඔහු කීවේය. ඇය බිම බලාගෙන සිටියාය. කිසිවෙකුටත් බිඳිය නොහැකි අමිහිරි නිහැඬියාවක් නැවත මතුවිය. නිවසට ගොඩවූ සැනින් ඔහුට මුහුණදීමේ වගකීම තමා වෙත පැවරී නොතිබිනි නම්, ඉන්දීවරගේ ගෙළ වැලඳ ඉකි බිඳීමේ හැකියාව තමාට ඇති බව හිමාලිට හදිසියේම වැටහින. එහෙත්, රතු වූ දෙනෙතින් යුතුව තමා නිවසට ගොඩවදිනු දුටුවහොත් සිය මව පමණක් නොව, ඔහුද කුකුසට පත්වෙනු ඇත.
“එයා ලබන මාසේ රට යනවා; ශිෂ්‍යත්වයකට. ඊට කලින් අපි දෙන්නා බඳින්න ඕන කියලා දෙපැත්තෙම නෑඳෑයෝ කිව්වා!” ඇය ඔහු නෑසූ පැනයකට පිළිතුරු දුන්නාය.
“මං යන්නම්!” ඇගේ හඬ ඔහුට යාන්තමට මතකය. ඊළඟ නිමේෂයේදී ඇය ඔහුට පිටුපා පටු පාර දිගේ නිවස දෙසට පිය නැගුවාය.
‘ඇය තවත් මොහොතක් තමා අසල සිටියා නම් කොතරම් අගනේද?” යන සිතිවිල්ල ඉන්දීවරගේ සිතට නැගින. එහෙත් ඒ නිමේෂය තුළ පවා තමා මෙතේ ඇ අසල ප්‍රදර්ශනය කළ දීර්ඝ ගොලුවත බිඳිය හැකිය යන විශ්වාසය ඔහු තුළ නොවීය.
පසු සටහන:
මේ කෙටි කතාව මවිසින් රචනා කරන ලද්දේ 2000 වර්ෂයේ දීය. එදා මා මෙය ලියන විට හිමාලී හමුව වසර 02 ක් ඉක්ම ගොස් තිබිණි. කිසියම් කරුණක් සම්බන්ධයෙන් බියපත්ව සිටි ඇය සමග ඵලදායී සංවාදයක යෙදීමට නම් මට සංස්කෘතික සිතිවිලි රාමුවෙන් බැහැරව නව දර්ශනයකින් ජීවිතය දෙස බැලීම අත්‍යවශ්‍ය විය. ඒ සඳහා මා, මගෙන් වියුක්තව මා දෙස බලද්දී, මා තුළ අරගල කරන සංස්කෘතික මිනිසා හා ශිෂ්ට මිනිසා පැහැදිලිව වෙන් කර හඳුනා ගතිමි. මා තුළ සිටින සංස්කෘතික මිනිසා මරා දැමීමට මම ඒ මොහොතේ තීරණය කළෙමි. මා ඒ සඳහා අදටත් උත්සාහ දරමි. ඒ බැවින් මට එදා හිමාලී සමග ඵලදායී සංවාදයක් ගොඩ නඟා ගැනීමට නොහැකි වූ බව නිහතමානීව කිව යුතුය.
ඉන් වසර විස්සක් ඉක්මවා ගිය අද දින පවා මට හිමාලී නැවත හමුවෙයි. මම අදටත් ඇය සමග ඵලදායී සංවාදයක් ගොඩ නඟා ගැනීමට උත්සාහ කරමි. මන්ද එය මාගේ යුතුකම වන බැවිනි.
“ නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”
නිල් නුවන් පෙගෙන ආදරයේ ව්‍යාජ ආලවට්ටම් වෙනුවට උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි ============ නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං ...