නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්

දඟ යන්න “ජංඟා” යන සංස්කෘත පදයෙන් බිඳී සැකසී ඇත. “ජංගා යුග්මය” යනු කලවා දෙකයි. කලවා දෙකට ශිෂ්ට මිනිසුන් කියන්නේ “ඌරු” පෙදෙස කියාය. මේ යෙදුම හා “ඌරා” නම් තිරිසන් සතා අතර කිසිදු සම්බන්ධයක් නැත.

ඌරාට ලිංග භේදයක් තිබුණද, ඌරු පෙදෙසට ලිංග භේදයක් නැත. ඌරාගේ ගැහැණු සතාට ඊරි කීවාට, ස්ත්‍රියකගේ කලවයට “ඊරි පෙදෙස” නොකියන්නේ එහෙයිනි. එය පුරුෂ ලිංගික පදයෙන්ම “ඌරු” පෙදෙසයි. මා දන්නා පරිදි සාහිත්‍යයේ කිසිදු තැනක පිරිමියාගේ කලවයට “ඌරු” පෙදෙස කියා යෙදී නැත. සියළු සාහිත්‍යකරුවන්ට කිචි කිචිය ඇත්තේ ස්ත්‍රියගේ කලවා සමග බවට මෙය සාක්ෂියකි. අප කව්රුත් දන්නා පරිදි ස්ත්‍රියගේ කලවා යුග්මය පිරිමි සිත තුළ නොමියන පැන්ටසියකි.

එහෙත්, ස්ත්‍රියකගේ ඌරු පෙදෙස අනවසරයෙන් ඇස ගැටීම, හා විශේෂයෙන් ඒ ඌරු පෙදෙසේ ලපයක් ඇති බවට මතකයේ තිබීම මාරාන්තිකය. ස්ත්‍රියකගේ කලවයේ උපන් ලපයක් මත්තේ සිය ජීවිතය අහිමි කරගත් මිනිසා පිළිබඳ වූ එය වෙනම කතාවකි.

මිනිසාගේ ශරීරයේ අස්ථි වර්ග 4ක් ඇත. දිග අස්ථි, කෙටි අස්ථි, වක්‍ර අස්ථි හා අක්‍රමවත් අස්ථි යනු ඒවාය. මෙයින් දිගම අස්ථිය උර්වස්ථිය බව, අප කුඩා කළ ‘මිනිසාගේ අස්ථි පඤ්ජරය’ පිළිබඳව දේශනයකට පැමිණි වෛද්‍යවරයෙක් කීවේය. මෙනිසා, ඕනෑම කලවයක් එකල මගේ කුතුහලය ඇවිස්සීය.

මිනිස් සිරුරේ දිගම අස්ථිය!

වීදාගම මෛත්‍රී මහනාහිමියන් විසින් රාහුල කුල කුමරුවා මහන කමට ඉල්ලීමේ සංසිද්ධියට ඌරු පෙදෙස සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි නැත. එහෙයින් මේ පූර්විකාව නිකංම නිකං ප්‍රලාපයක් වීම වැළැක්විය නොහැක.

*******************************
එහෙත්, මේ කතාව සමග මා සිතේ කුසුමා ටීචර්ගේ මතකයක් බැඳී පවතී.

කුසුමා ටීචර් යනු මා බාලාංශ පන්තියේ ශිල්ප හදාරද්දී අපේ පාසලේ සේවය කළ ගුරුතුමියකි. ඇය මාතර ප්‍රදේශයේ කෙනෙකු බවට යාන්තම් මතකයක් ඇතිවා මිස වැඩිදුර විස්තරයක් මගේ මතකයේ නැත. දිනක් අපේ කුඹුරේ ගොයම් ගන්නා දවසේ කුසුමා ටීචර් අපේ ගෙදර ආවාය (ගොයම් ගැනීම ලෙස අප නම් කරන ලද්දේ කුඹුර කපා, එම ගොයම් මැඩවීම සඳහා කමතට ගෙන ඒමයි). ඇයටත්, ඇගේ යෙහෙළියන් වූ ටීචර්ලා කිහිප දෙනෙකුට කුඹුරේ ගොයම් ගන්නවා බැලීම අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා පැමිණ, ගොයම් ගන්නා පිරිසට කෑම පිලියල කිරීමට ද අම්මාට උදව් කළෝය.

මගේ මතකය නිවැරදි නම් එදින අපේ වත්තේ තුඹසක පිපුනු ඉඳලෝලු හා වට්ටක්කා ව්‍යාංජන වශයෙන් පිසිනි. මා මේ සිද්ධියට සම්බන්ධවන්නේ කුසුමා ටීචර් අම්මාට උයන්නට උදව් කරන අවස්ථාවේ දීය.

*************************
වීදාගම හිමියයන්ට රාහුල කුල කුමරුවා හමුවන සමය වන විට කුල දරුවන් මහකමට තෝරා ගැනීමේ නිර්ණායකවල වෙනසක් තිබී ඇති බවට මේ කතාව ඉඟිපායි.

වර්තමානයේ මහනකමට කොල්ලෙක් ලබා දීමේ එක් නිර්ණායකයක් වන්නේ උගෙ තක්කඩිකමයි. දෙමාපියන්ට හා ගුරුවරුන්ට මොන ආකාරයෙන්වත් ආණ්ඩු මට්ටු කිරීමට නොහැකි විතණ්ඩයා “පංසලටවත් දීලා හදා ගන්න පුළුවන්ද බලන්න ඕන” යැයි තීරණය කර සසුනට පූජා කිරීම වර්තමානයේ එක් නිර්ණායකයකි. උණ පුරුකේ දැම්මත් ඇද නෑරෙන බලු වලිගය මෙන් මේ බොහෝ කුල කුමරුවන්ගේ ගතිය මැරූවත් මඟ හැරෙන්නේ නැත. ඌ අඛණ්ඩවම විතණ්ඩකම් කරයි.

දරුවන් සසුනට පූජා කිරීමේ තවත් නිර්ණායකයක් වන්නේ දරිද්‍රතාවයයි. දරුවන් බහුල පවුලක දුප්පත් කම නිසා දරුවන්ට කෑමට යමක් උපයා-සපයා දිය නොහැකි තත්වයක් තුළ “අඩු තරමේ එකෙක්වත් බඩපුරා කාලා බීලා හොඳට ඉගෙන ගනියි නේද” කියා ඇතැම් මාපියන් දරුවා සසුනට පූජා කරති. එහෙයින් උන්නාන්සේලා සාමනේර කාලේ සිටම මදාවියන් වීම හෝ බඩජාරියන් වීම අප විවේචනය කළ යුත්තේ මේ පසුබිම ද සිත්හි තබාගෙනය. 

දරුවා මහනකමට සුදුසු බවට තීරණය කළ වීදාගම හිමියන් කොළුවාගෙන් ආගිය තොරතුරු විමසා ඇත. තමාගේ පියා නොමැති බවත්, වැන්දඹ මව සමග ජීවත් වෙන බවත්, ඇය බත් පිසීමට සූදානම් වෙද්දී තමා ඉස්සෙක්, මගුරෙක් හෝ ලොකු වැලිගොව්වෙක් අල්ලා ගැනීමට පැමිණි බවත් කුඩා කොළුවා (ගීතයෙන්) කියා ඇත.

අනතුරුව, දරුවා සසුනට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කිරීමට වීදාගම හිමියන් දරුවාගේ ගෙදරට ගොස් ඇත. උන්වහන්සේ වඩින අවස්ථාවේ, මිඳුළ මැද කොරහක් තබාගෙන, නෑඹිලියක් අතින් ගෙන ඇය බිමට නැඹුරු කරගත් මුහුණෙන් යුතුව හාල් ගරමින් සිට ඇත. ඇයට මහනාහිමියන්ගේ වැඩීම හාංකවිසියක්වත් නොවීය. උක්කුට්ටියෙන් වාඩි වෙන විට ඇඳ සිටි චීත්තය, දන හිසේ පටලැවෙන බැවින් ඇය එය දනට ඉහළින් උස්කරගෙන සිටියාය. තවමත් විසි විය යාන්තමට ඉක්මවූ ඇගේ දඟ යුග රන්වන් පැහැයෙන් දිදුලනු මහනාහිමි දකින්නට ඇත. රාහුල හිමි නම් එය නිවැරදිවම දුටු බවට කාව්‍යසේකරයේ එන මේ කව සාක්ෂියකි.

නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”

රාහුල හිමි පවසන්නේ තරුණ බැමිණියගේ කළවා පෙදෙස නොපීදුනු තැඹිලි මලක් මෙන් රන්වන් පැහැයෙන් දිදුලන බවයි. මේ තරුණ සුරූපී වැන්දඹුවගේ දඟ යුඟ යාන්තමට දුටු වීදාගම හිමියන්ට කුමක් සිතෙන්නට ඇද්ද? සිය අන්තේවාසිකයන්ට කවිකම පෙන්වමින් උන්වහන්සේ මෙසේ කියා ඇත.

සිහින් සිනිඳු සිනිඳු ලොලේ
සිහින් ඉඟට ඇඳි සේලේ”

සිය මෑණියන් දෙස නිරාමිසම නොවන හොර බැල්මක් හෙළමින්, කවියක් කියූ වීදාගම හිමියන් දුටු රාහුල කොළුවා ඒ සමගම ඊට පිළිතුරු කවි දෙපදය පද බැඳ ඇත.

හාල් ගරන කත මිඳුලේ
දැක මහනෙක් ලෝභ කළේ”

****************************
මේ කතාවට කුසුමා ටීචර් සම්බන්ධ වන්නේ මීට අසමාන, එහෙත් වෙනත් සාහිත්‍යමය සිදුවීමක් හේතුවෙනි.

එදා කුසුමා ටීචර් අපේ ගෙදර ආ දා, මා අහම්භයෙන් මෙන් කුස්සියේ දොරකඩින් මිඳුළට බසින විට (මට වයස අවුරුදු 5කි) කුසුමා ටීචර් පොල් ගස යට උක්කුට්ටියෙන් ඉඳගෙන හාල් ගරමින් සිටියාය. මම වහාම ඇය දෙස බලා මේ කවි දෙපදය කීවෙමි.

හාල් ගරන කත මිඳුලේ - දැක මහනෙක් ලෝභ කළේ”

මගේ සාහිත්‍ය වින්දනයේ ඉතිහාසය එවැනි හීනි කතාවලින් ද ඔපවැටී ඇත.

 

No comments:

Post a Comment

“ නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”

නිල් නුවන් පෙගෙන ආදරයේ ව්‍යාජ ආලවට්ටම් වෙනුවට උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි ============ නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං ...