හෙන්දිරික්කා මල්

මයිනහම අදින වාරයක් පාසා පොල්කටු අඟුරු ගොඩ විනිවිද ගිනිදැල් මතුවෙයි. කලුපාට අඟුරුගොඩ අතර පුංචි විවරයන්ගෙන් එළියට පනින ගිනිදලු; සුළඟ, කලු අඟුරුගොඩ සමග සහවාසයෙන් උපන් සුජාත දූ දරුවන් නොවේදැයි ඉන්දීවරට සිතුනේ ඔහු උසස් පෙළ සඳහා සිංහල පාඩම් කරන සමයේදීය. ඇතැම්විට මෙම ගිනි දලු, කැබැලිවලට කැඩෙමින්, කලු අඟුරු ගොඩෙන් පලා යෑමට මෙන්, සුළඟට මුසුවී, ක්ෂණයකින් වා තලය තුළ අන්දමන්දව අතුරුදන් වී යයි. ඒ හැම වාරයක් පාසාම ඉන්දීවරට සිතුනේ සිය ජනනයට වෛර කරන ගින් දලු, කලු අඟුරුගොඩ හැරපියා පලා යෑමට අනවරත අරගලයක යෙදෙනා බවකි.

පාසැල් සමයේ ගිනිදලු හා පොල්කටු අතර මෙම සටන සම්බන්ධ චමත්කාරය තමා මෙන්ම තවත් අය රස විදින්නේද යන්න දැන ගැනීමට දැඩි කුහුලක් ඉන්දීවරට විය. ගිනි දලු ඉපැද්දීමට කලු අඟුරු ගොඩට උපකාර කරනා සුළඟ, ඒ ගිනි දලු තමාගේද සහජාතී දරුවා ලෙස පිළිගෙන සිය, දීර්ඝ ගමන් මාර්ගය ඔස්සේ රැගෙන යෑම වෙනුවට එක් ක්ෂණකින් විනාශ කර දැමීම කුරිරු කමක් නොවේදැයි ඔහු නොයෙක් වර කල්පනා කළේය. සුළඟ යනු විශ්වාස ‍නොකළහැකි වස්තුවකි. මල්වල සුගන්ධය මෙන්ම කසල වල දුර්ගන්ධයද සමව ඇද, වැළඳ හමනා සුළඟ විශ්වාස කළ හැක්කේ මුග්ධයෙකුට පමණි. අදිසි සුවඳක් මෙන් ජීවිතේ නොසිතූ විටක ළඟ දැවටෙන එය ඊලඟ නිමේෂයේදී කිසිවෙකුටත් නොදන්වා පලා යන්නේ අන් අයගේ ජීවිත සම්බන්ධයෙන් තමාට වගකීමක් නැතැයි තර්ක කරනා විතන්ඩවාදියෙකු මෙනි. අනෙක් අතට මල්වල සුවඳ මෙන්ම කසල වල දුර්ගන්ධයද සුළඟට මුසු කරමින් එය චපල සිත් ඇත්තෙකු බවට පත් කරනුයේ මිනිසුන් නොවේදැයි ඉන්දීවරට නැවතත් සිතෙයි.

මයින හම ඇදීම නතර කල කම්මල්කරු අඟුරු තුළ වූ යවට අඬුවකින් ගෙන, කිනිහිරය මත තබා තලන්නට විය. ඔහුගේ සගයාද විශාල මිටියක් ගෙන, ගතේ මුලු වීර්යයම එයට බරකොට රත්වූ යකඩයට වැරෙන් පහර දෙන්නට වූයේ දිගු කලක් පුල පුලා බලා සිටි වෛරයක් පිරිමසා ගැනීමට මෙනි. පුංචි ගිනි පුලිඟු පිට කරමින් කුලුගෙඩි පහරවල් දරා සිටි යකඩය, සිය දීප්තිය තැලෙන වාරයක් වාරයක් පසා අඩු කරමින්, නිහඬවම කලු පැහැයට හැරෙන්නට විය.

ඔයා හැමදාමත් ඔහොම මයි ඔහුගේ නිහඬතාව දරා ගැනීමට අපහසු නිසාදෝ හිමාලි තෙපළුවාය. කම්මල දිහා බලා ගත්තහම මෙලෝ සිහියක් නෑ. ළඟ ඉන්නේ කව්ද; ආවෙ කව්ද; ගියේ කව්ද කියන්න ඔයාට වගක් වත් නෑ

ඉන්දීවර අඩක් හැරී ඇය දෙස බැලුවේය. ඇය ඔහුගේ මේසය අසල ජනේලයට වාරුවී, ජනේලයේ කූරු අතින් ගෙන සිටියාය. ඇගේ එම ඉරියව්ව, ස්වභාවයෙන්ම සුන්දර හිමාලිගේ සුන්දරත්වය තවත් වැඩි කර තිබිණ.  

ඔයාට හැම දෙයක්ම මතකයි එහෙම නම්...! තවමත්!

 ඔහු කීවේ සත්‍යයකි. ඇයට සියල්ලක්ම මතක තිබින.

ඔහු  වසර දහයකුත්, මාස හතරක් හා දින විසි දෙකක් සිය නිවසට නොපැමිණි බව ඇය සිහිපත් කළාය. වැසිබර දිනයක හිරි පොද අතරින්, අඳුරු තිරයකින් වැසී ගිය දසුනක් පෙනෙන්නාක් මෙන් එදා ඔහු නික්ම ගිය අයුරු ඈ මනසේ මනාව සටහන්ව ඇත. එදා ඔහු අවසන් වරට තමාගේ නිවසින් එළියට බැස යනන විට තමා විසින් ඉටු කිරීමට ඉල්ලූ පොරොන්දුව ඉටු කිරීමට මෙන් ඔහු නැවතත් පැමිණියේය.

“ගිහිල්ලා එන්න

තමා කුඩා දැරියක්ව සිටියදී පවා ලොකු මාමලාගේ ගෙදරයට යෑමට ඇය කැමැති වූවාය. අයියලා තිදෙනෙකු සිටියද ඇය සිත් ගත්තේ බාල මස්සිනා වන ඉන්දීවර පමණි. ඔහු තමාට වඩා සිව් වසරක් වැඩිමහල් වුවද, ඇය කෙලි සෙල්ලම් කරන වයසේ පසු වෙද්දී ඔහුද කෙලි සෙල්ලෙමෙහි යෙදුනු දරුවෙක් විය. ඉන්දීවරලාගේ පවුලට මද්දුමයා එක්වී බඩ පිස්සා ඉපදීමට වසර දොළහක් ගතවීම නිසා ඉන්දීවරට, සිය සොහොයුරන් හා එක්ව කෙළි සෙල්ලෙමෙහි යෙදීමට නොහැකිවිය. එනිසාම ඔහුට හිමාලි හමුවෙන් තෙක් ළමා කාලය ගත කලේ හුදකලාවමය. ගොවියෙකු වුවද ගමේ ප්‍රභූවරයෙක් වූ ඉන්දීවරගේ පියා අඩු කතාබහ ඇත්තෙකු විය. මව නිහඬ, සිය යුතුකම් පිළිබඳව පමණක් නිරංතර කල්පනාවේ පසුවන්නියක වූවාය. හිමාලිගේ ඇසුරට පාත්‍රවීමට පෙර පවා ඔහුගේ විනෝදාංශය වූ, කම්මල් වැඩ දෙස ජනේලයෙන් බලා සිටීම නිහඬ දරුවෙකු වූ ඉන්දීවරට මනාව  ගැලපින. අනෙක් තමාට අපැහැදිලි කිසියම් කරුණක් නිසා නිරංතරයෙන්ම සිය නිවසට පැමිණෙන ගමේ පිරිසගෙන් පිරුණු නිවසේ හුදකලා කාමරය, ජනේලයෙන් කම්මල පෙනෙන, එකල ඉන්දීවර සිය මව සමග බෙදා හදාගත් කාමරය පමණක් විය. එනිසා ඉන්දීවර ගෙදර සිටී නම් වැඩි කාලයක් ගත කලේ මෙම කාමරය ඇතුලේය. දෙනෝදාහක් සරන උද්‍යානයක හුදකලා මල් පැලයක් සේ ඔහු නිහඬවම, තමාට ආවේණික ජීවිතයක් ගත කලේ මෙම කාමරය ඇතුලේය.

එහි යම් වෙනසක් වී නම් ඒ හිමාලිගේ ආගමනයෙනි. ඉන්දීවරගේ ළමා කාලයේ හැම මතකයක්ම හිමාලි සමග බැඳී පවතී. සම වයසේ මිතුරන් සමග රංචු ගැසීමට ස්වයං වාරණයක් පනවාගෙන සිටි ඉන්දීවර, පාසැල් යාමටත්. පාඩම් කිරීමටත් අමතරව සිය නිදහස් කාලය වැය කලේ හිමාලි ඇසුරු කිරීමට පමණි. ඇය යෙහෙළියක්ද, ඥාතියෙක්ද, පෙම්වතියක්ද යන්න නිරවුල් කර ගැනීමට උත්සාහ නොගත් ඉන්දීවර ඇගේ ඇසුර පමණක් පැතුවේය. වරක යෙහෙළියකගේ කෙළිලොල් බවත්, තවත් වරෙක ඥතියෙකුගේ සංකීර්ණත්වයකුත්, ඒ සමගම පෙම්වතියකගේ සමීපත්වයත්, උණුසුමත් ඔහු ඇයගෙන් අත් වින්දේය. එනිසා, ඔහු ප්‍රාර්ථනා කළේ ඇයයි. හිමාලි ඒ නමින් මිස ඉන් එහා නමකින් අර්ථකථනය කර ගැනීමට ඔහු බිය විය. සිය හැඟීම්, පොල්කටු අඟුරු ගොඩ විනිවිදින ගිනි දලු සේ පිටතට නොදක්වා රත්වූ යවට සිරකරගත් උණුසුම මෙන් සගවා ගැනීමට ඔහු වඩාත් කැමැති විය. අනෙක් අතට සිය සිතැඟියාවන් හෙළි කිරීමෙන්, තමාට හිමාලි අහිමි වී අන් යමෙකු ඉතිරිවේයැයි අනියත බියකින් ඔහු පෙළුනේය. ඔවුන් දෙනො ඇසුරු කල පාසැල් ගොස් පැමිණ ගතකල සැන්දෑවන් මෙන්ම සති අන්ත නිවාඬු දිනයන්ද ඔහුගේ සුන්දර මතයන් අතරට එකතුවී තිබින.

ඔයා හිතන්නේ මට හැම දෙයක්ම අමතක වෙලා කියලද? ඇය පෙරළා ප්‍රශ්න කළාය.

මං හැමදාම අකැමැති වුනු එකම දේ තමයි ඔයා ඔය ජනෙලෙ ලඟට වෙලා හාවක් හූවක් නැතිව කම්මල දිහා බලාගෙන ඉන්න එක

ඇයි මං හමුදාවට ගිය එක? ඔහු වහාම ඇයට අමතකව තිබුණු යමක් සිහිපත් කළේය. ඇය නිමේෂයක් එක එල්ලේ ඔහුගේ දෙනෙත් දෙස බලා සිට අනතුරුව බිම බලා ගත්තාය. ඔහු යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබලෙක් ලෙස සේවයට බැදෙන බව ඇසූ මොහොතේ තමා ඊට විරුද්ධ වූයේ කුමන කරුණක් පදනම් කරගෙනද යන්න ඇයට මෙතෙක් පිළිතුරු දිය නොහැකි ගැටළුවකි. සිය සිතේ තමාට පමණක් ආවේණික කොටස විවෘත කර බලන විට පවා ඔහු තමා සමග විශ්ව විද්‍යාලයට යෑම වෙනුවට හමුදාවට යෑම තමා ප්‍රතික්ෂේප කළාය යන්න ඇය නොපිළිගනියි. ඉන්දීවර කිසිවෙකටත් බලෙන් පෙළඹවිය හැක්කෙකු නොවන බව ඇය දැන සිටියාය. එනිසා සිය මතය ඔහු තුළ රෝපණය කිරීමට වඩා ඔහුට සිය අභිමතය පරිදි කටයුතු කිරිමට ඉඩ දීමට හිමාලි උගෙන සිටියාය. මෙම කරුණේදී ඇය කෝප වූයේ ඔහු තමාගේම අභිමතයට පවා පටහැනි ලෙස ක්‍රියා කිරිම නිසාය. ඉන්දීවර හුදකලා හමුදා සේවයට වඩා තමා සෙවනේ කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කල බව ඇය ඉඳුරාම දැන සිටියාය. එහෙත් උසස් පෙළ විද්‍යා අංශයෙන් සිප් සතර හදාරා වෛද්‍ය විද්‍යාලයට තේරුණු තමා, ඔහුට සිය සමීප ඇසුර සපයන්නේ කුමණ ආකෘතියකින්දැයි යන්න ඇය සිතාගත නොහැකි විය. යමක් සඳහා පළමු පියවර තැබිය යුත්තේ තමාද නො එසේ නම් ඉන්දීවරද යන්න ඇයට අදටත් උභතෝකෝටිකයකි. අනෙක් අතට, මේ වන විට සංවත්සර කිහිපයක් සැමරිය යුතුව තිබුණු යම් ක්‍රියාවකට මුල්ගල තැබීමට. දැන් දෙදෙනාම ප්‍රමාද වැඩි යැයි විශ්ව විද්‍යාලයට තේරීමෙන් අනතුරුව ඇයට පසක්විය. උසස් පෙළ ප්‍රතිඵල විසින් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න පත්‍රයක් ඇය අතට පත්කර තිබින. ඔහු හමුදාවට යනවා යැයි කීමට වඩා ගෞරවාන්විත සිය දිවි නසා ගැනීමකට යන්නේය යනුවෙන් සිතීමට ඇගේ යටි සිත ඇයට බල කලේය. ඇය වඩාත් කෝපයට පත්වූයේ සිය සිත අභියස තමා කොතරම් අසරදැයි වටහා ගැනීමෙන් විය යුතුය. ඔහු පිළිතුරක් අපේක්ෂා නොකර ඇසූ පැණයට තමා යුතුකමක් සේ වත් සලකා පිළිතුරු ලබා දිය යුතු යැයි හිමාලි කල්පනා කලාය. ඔහු නිහඬවම ජනේලයෙන් එපිට බලා සිටියේ නියම සොල්දාදුවෙක් පරිද්දෙනි. නියම සොල්දාදුවා හැඟීම් මරා දමනු ලැබූවෙකු විය යුතුය.

අනෙක් අතට, තමා ඔහුට පවසන්නේ කුමක්ද යන්න හිමාලි නොදැන සිටියාය. යමක් පවසන්නේ නම් එය තමාගේ යටි සිත පවසන පරිදි, තමා විසින් ඔහුට කරන ලද බරපතල වරදක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් විය යුතුය. එහෙත්, තමාගේ වරද කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඇය අසමත් වූවාය. ඒ පිළිබඳව සිතීමෙන් හෙම්බත් වූ ඇය, දෙවන වර කල්පනා කලේ වරද තමාගේ නොව අන් තැනක නම්, ඒ කුමක් විය යුතුද යන්නයි. එහෙත්, ඊටද ගැළපෙන සුදුසු පිළිතුරක් සොයා ගැනීමට හිමාලී අසමත් වූවාය. වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමෙන් අනතුරුව විවර වූ නව චින්තන අවකාශය තුළ ඉදි වූ අනාගත නිවසේ, මිඳුල, පෝටිකෝව, ඉස්තෝප්පුව, කුස්සිය, නාන කාමරය, ගරාජය හා ඒ තුළ වූ තමාගේ අනාගත මෝටර් රථය ආදී පොදු සාධක පමණක් නොව, නිදන කාමරය වැනි අතිශය පෞද්ගලික ස්ථාන පිළිබඳව පවා සිහින මවා ගැනීමට අපහසුවක් හිමාලිට ඇති නොවීය. පළමු වසරේ ප්‍රායෝගික පරීක්ෂණයක් වන, කාය ව්‍යවච්ඡේදනයෙන් අනතුරුව,  නිදන කාමරයේ සුව පහසු ඇඳ මත තමා සමග සයනය කරන අනාගත ස්වාමිපුරුෂයාද මවා ගැනීමට ආයාසයකින් තොරවම ඇ සමත් වූවාය. ඔහුගේ මුහුණ හැරුණු විට, ඔහුට දාව තමාගේ කුසින් උපදින දරුවාගේ මුහුණ පවා ඇගේ මනසේ පැහැදිළිව සිතුවම් විය. එහෙත්, තමා පසෙකින් නිදන සිය සැමියාගේ ප්‍රතිරූපය නිතරම, අඳුරට මුසු වූ රූපයක් පරිද්දෙන් ඇගේ සිතේ සටහන් විය. ඊට හේතුව, නියම වශයෙන් භෞතික පිරිමියෙකු ඇගේ සිතට ඇතුළත් නොවීමම නොව, ඒ මිනිසාගේ ගුණාංග සම්බන්ධ නිශ්චිත අදහසක් ඈ මනසේ සටහන් නොවීමයි. වෛද්‍යවරියක ලෙස තමාගේ අනාගත සමාජ සම්බන්ධතාවල වගකීම දරන ඒ මිනිසා, උස් ප්‍රතිරූපයක් සහිත විය යුතුය. විශ්ව විද්‍යාලයට පිවිසි මුල් දිනවල පටන්ම ඈ මනසේ ඇඳුනු ඒ සිතිවිල්ලේ ප්‍රතිඵලයක් ලෙස, අඳුරු, ආරෝහ පරිනාහ දේහකින් යුත් මිනිසෙක්, ඒ සිහිනය තුළ ඇය සමග යහන් ගත විය. ඇතැම් විටක, ඒ අඳුරු රූපය, ඉන්දීවරගේ නිහතමානී ප්‍රතිරූපය සමග ඡේදනය වන්නට පොර බැදුවද, එය ආයාසයෙන් යටපත් කර ගත යුතු තරමේ පීඩනයක් හිමාලී තුළ ජනිත කළේ නැත. රැකියාවෙන් පමණක් සිය සිහිනය සමග සැසැඳුනු, හෙට තමා සමග විවාහ වීමට නියමිත ඒ මිනිසා තම මනසේ වූ ප්‍රතිරූපය අසලට වත් පැමිණීමට අසමත් බව වැටහෙන බොහෝ අවස්ථාවල ඈ බියෙන් සලිත වූවාය. විවාහයට දිනක් නුදුරේ සිට සිතන කල, ඉන්දීවරට වඩා මේ මිනිසාට සිය සිහන යහනට පිවිසීමට සහ සිය කන්‍යාභාවයට උරුමකම් කීමට ඇතිවූ හැකියාව පිළිබඳව, නිශ්චිත යමක් සිතා ගැනීමට තමා අසමත් බව පමණක් ඇය පසක් කළාය. මෙතෙක් තමා සෙවනැල්ලක් සමග යහන් ගතවූ බවත්, හෙට සිට ඒ වෙනුවට භෞතිකයක් පැමිණෙන බවත් පමණක් ඇය පැහැදිලිව දැන සිටියාය. සෙවනැල්ල සහ භෞතිකය අතර වෙනස වටහා ගැනීමට තමාට උපකාරී වනු ඇත්තේ එළඹෙන අනාගතයි.

 අහස වර්ෂාවකට අර අඳියි. ගෙයි දකුණුපස වාරයට වගා කර අත් හරිනු ලැබූ කනත්තේ රූස්ස බුරුත ගස හා ඉඟිනිය ගස වටා ඊ ගසක වේගයෙන් වැහි ලිහිණියන් රංචුවක් සැරි සරයි. මන්දාලෝකය මෝදුවෙමින් ගෙයි ඉදිරිට පාරෙන් එපිට කුඹුරු යාය කලු පැහැයට හරවමින් සිටියාය. ඊසාන දිගින් ආ කලු වලාවක්, සේනාපතිය කන්දට මුව වීමට මාන බලමින් සිටි හිරු සඟවා ගත්තේය. මෝදුවන අඳුර තුළ ඇයට ඔහුගේ මුහුණ අපැහැදිලි ඡායාවක් විය. දරාගත නොහැකි හැඟීමකින් මිදීමට සිය නෙත්, මේ වන විටත් ඇද හැලෙන වර්ෂාවෙන් සෙමින් වැසී යමින් පැවැති බැඳියාව කන්‍ද මත රඳවාගත් ඈ සිය වෙව්ලන දෙතොල පාලනය කර ගැනීමට උත්සාහ දැරුවාය. ආයාසයෙන් මතක් කල යුතු තරමට ඇයට තමා පැමිණි කාරණය අමතක වී තිබිණ.

 මම දැන් යන්න ඕන ඇය වහා කීවාය. වැස්ස එනවා. අම්මත් හොඳටම බය වෙලා ඇති

 මං ඔයාව ගිහින් ඇරලවන්නම් ඔහු අසුනින් නැගිට කීවේය. එම වචනවල මොහොතකට පෙර තමා තෙපලූ වචනවල තරමටම කෘත්‍රිම බවක් ගැබ්වී ඇතැයි ඇයට සිතින. මින් පෙර කිසිදු දිනක ඔහු මෙවැන්නක් ඇයට කියා නැත. එහි අමුත්තක් ඇත. තමා නිවසට ඇරලීමට ඔහුට නිත්‍ය අවසරයක් භුක්තියෙන් හිමිවී තිබිණ. ඒ සඳහා අවසර ගැනීමේ සිරිතක් නැත. අනෙක් අතට ලොකු මාමාලාගේ නිවසට පැමිණ තමා කොතරම් ප්‍රමාද වුවත් සිය මව හෝ පියා කලබල නොවන බව ඇය ඉඳුරාම දැන සිටියාය.

සිහින් සිරිපොද වැටෙන්නට විය. ගෙයි ඉදිරිපිට දැඩි නියඟයට කහ පැහැ ගැන්වනු වෙල් යාය දුරාසාරයෙන් වැටෙන වැහි බිඳු පවා උරා ගත්තේ දැඩි කෑදර කමකිනි. වියලි පොලවට වැහි බිඳු පතිත වන විට ඉන් වහනය වන්නේ පෙම්වත් සුවඳකි. මේ සුවඳ තමාට විඳගත හැක්කේ අද පමණක්ය යන්න ඉන්දීවරට හදිසියේම කල්පනා විය. මහ වැසි වැටුනු පසු හෙට යළිත්  මේ පොලව මත නැවුම් සුවඳක් ඉතිරි වන්නේ නැත. තෙත බරිත මල්වර පොලව සරු ඵළදාවකට ඔබින්නේ වුවද, එහි තවදුරටත් පෙම්වත් සුවඳක් ඉතිර වන්නේ නැත.

කුඩ දෙක ඉහළාගෙන, හිමාලි සමග මහ මඟට බට ඉන්දීවරට වැහි බිදු අතරින්ම කම්මලේ, මයිනහම අදින විට කලු අඟුරු ගොඩ විනිවිද නගින ගිනි දලු පෙනේ. දැන් සුලඟ මද නිසාදෝ ගිනි දලු අඟුරු ගොඩෙන් මිදී වා තලය තුළ මුසු වීමට උත්සාහ නොගනී. නැතහොත් වර්ෂාව අතුරින් එය ඉන්දීවරට හරියට පෙනුනේ නැත. ඉන්දීවර අවිඤ්ඤාණිකව මෙන් හිමාලි දෙස හැරී බැලුවේය. ඒ ක්‍රමයෙන් ‍ෙබාඳවී යන ඇගේ රුව සිය සිතේ සනිටුහන් කර ගැනීමකට ඔහු දැරූ උත්සාහයක් දෝ හෝ නොහොත් ක්‍රමයෙන් දිරාපත්ව ඇද වැටෙන යන ඇගේ පිළිරුව ආධාරකයකින් මොහොතක් රඳවා තැබීමට ගත් උත්සාහයකට සමාන විය. ඇගේ මඳක් හතරැස් හුරුබුහුටි මුහුණ, නලලතට කැරැලි ගැසී වැටුණු දඟකාර කොණ්ඩය, අගින් මඳක් විශාල නැහැය, නිරංතරයෙන් සිනාසෙන දෙනෙත, කල්පනාකාරී මුව, සිතිවිලි අතර බොහෝ දුර ඈතක දර්ශනයක් සේ ඉන්දීවරට මැවී පෙනින. දෙනෙතින් හා සිතින් පමණක් විඳගත් ඒ දේහ සුන්දරත්වය, වට වැහි බිඳු අතර බොඳවී ඇතැයි ඉන්දීවරට සිතින.

නිවසේ සිට කම්මල අසලට යනතෙක් දුර නිහඬතාවයකින්ම ගෙවී ගියේය. ඒ නිහඬතාව වින්දේ ඇය විසිනි.  

 ඔයා හෙට උදෙන්ම එනවා නේද? ඔහු සියල්ල දන්නා බව ඈ දැන සිටියාය. කම්මල්කරු යම් ආවුධයක් පන්නරය තැබීමට කලු ගැහුනු කහට වතුර භාජනයේ ඔබද්දී නගින චාස් හඬ, ඇගේ හඬ හා වර්ෂාවේ හඬ අතුරින් ඉන්දීවරගේ දෙසවන ගැටින. ඔහු සැහැල්ලු ලෙස හිස සැලීය. නැවත නිහඬතාවකි. සිය නිවසේ සිට හිමාලිගේ නිවසට ඇති දුර නියමාකාරයෙන් අවබෝධ වූයේ අද යැයි ඉන්දීවරට සිතින. මේ දිගු මඟ කෙටි කල හැකි යමක් ඔහු විසින් විමසිය යුතුව තිබින. එහෙත්, දෙනො අතර නිහඬතාව විසින්ම ඔවුන් ඇගේ නිවස තෙක් ගෙනවිත් තිබිණ. දුරට පෙනෙන මිඳුලේ ඉදිකල මඬුවට මෙපිට සුඛෝපභෝගී වාහනයක් නවත්වා තිබින. නිවසේ වැඩ කටයුතු වලට උදව් වීමට විශ්වාසවන්ත, වගකීම් සහගත කෙනෙකු නැති නිසා හැකිනම් අද දින පැමිණෙන්නැයි පොඩි මාමා තමාට කී බව ඉන්දීවරට අමතකව තිබුනේ නැත. එහි යෑම සිය යුතුකම ලෙස සිතාගෙන සිටියද එම වාහනය, තවදුරටත් ඉදිරියට ගමන් නොකල හැකි පරිදි සිය මඟ හරස්කර ඇතැයි ඉන්දීවරට සිතින.

ඔහු අවසන් වරට පොඩි මාමලාගේ නිවසට පැමිණි දිනයේද මෙවැනි රථයක් මිඳුලේ නවත්වා තිබුණු බව ජයසේට මතක ඇත. එදා උදේ ඔහු අවදි වූයේ වෛද්‍ය පීඨයට තේරුණු හිමාලි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කැඳවාගෙන යාමට පැමිණි රථය මිඳුලේ නතර කරන හඬ ශ්‍රවණය වීමෙනි. පොඩි මාමාගෙන් හෝ නැන්දාගෙන් බාධාවක් නොමැතිව, එහෙත් නිහඩව ගෙවී ගිය පැය ගනනාවකට පසු නිඳා ගැනීමට තීරණය කර ඔහු වාඩි වී සිටි පුටුවෙන් නැඟිට ඉස්තෝප්පුවේ දිග හැර තිබූ බූරු ඇඳ වෙත පියවර මැන්නේය. ජීවිතයේ විවිධ යුගවල ඔහු සිය නිවසේ නිඳා ගත් තැන් වෙනස් වූ බව ඇය සිහිපත් කළාය. කුඩා කල  කෙළි සෙල්ලමෙන් විඩාවට පත් ඉන්දීවර හා හිමාලි කෑම කා හෝ නොකා, ඇගේ කාමරයේ, ඇගේම ඇඳ මත, සිය ග්‍රහණය බිඳී යාදෝයි බියෙන් මෙන් තදින් ඔවුනොවුන් වැළඳගෙන නිඳා ගත්තේතෝය. අනතුරුව, තමා යෞවනියක් වීමෙන් අනතුරුව සිය නිවසට පැමිණ රාත්‍රිය ගත කරන දිනවල ඉන්දීවර සාමාන්‍යෙයන් නිඳා ගන්නේ හිමාලිගේ කාමරයට යාබද කාමරයේය. එකලා ඇය, නිඳා සිටින ඔහුගේ ඉරියව් සිතින් මවා ගැනීමට උත්සාහ කළාය. එවන් බොහෝ දිනවල ඈ නින්දට ගියේ ඔහුගේ නිසොල්මන් නිඳි දැහැන සිහින් හඬින් ඇසෙන ගෙරවිල්ලෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි. විශ්ව විද්‍යාලයට ගොස් ගත කිරීමට සිදුවන ජීවිතය පිළිබඳව නිශ්චිත හැඟීමකින් තොරව, බොහෝවිට නිඳි වර්ජිතව ගත කිරීමට නියමිත රාත්‍රියක් ඔහුගේ නිඳි සුව විඳින හඬට සවන් දෙමින් ගෙවා දැමීමේ අතාර්කික ආශාවක් සැනෙකින් ඈ සිත තුළට කඩා වැදුනේය.

“ඇතුළට යමු ඇය යෝජනා කළාය.

“එපා. මම මෙතන නිඳා ගන්නම් ඔහු සැහැල්ලුවෙන් කීවේය. ඔහුගේ සැහැල්ලුව ඇය තුළ කෝපයක් ඇති කිරීමට හේතු විය. ඔහු තමාගේ ආශාවන් සම්බන්ධයෙන් උනන්දුවන් නොදක්වන්නේය යන ඇගේ සිතේ දිගින් දිගටම පැවැති කුකුස තහවුරු කර ගත්තාක් මෙන් ඇය මොහොතක් ඔහු දෙස රැවුම් දෙනෙතින් බලා සිටියාය. ඔහු සුපුරුදු සැහැල්ලුවෙන් බූරු ඇඳ මත වැතිරී දෙනෙත් පියා ගත්තේය. වෑන් රථය මිඳුලට පැමිණ නවත්වන හඬින් පිබිදෙද්දී ඔහුට හැඟී ගියේ තමා පෙර දින නිඳා ගත්තේ ඉතා ස්වල්පයක් හෝ නිඳා නොගත් බවකි. එදා සිය නිඳි දැහැන බිඳි රථය සම්බන්ධයෙන් ඇති වූ කෝපයට සමාන හැඟීමක් ඔහු සිත ඇති විය.

මං නතර වෙන්නම් ඔහු කීවේය. ඇය බිම බලාගෙන සිටියාය. කිසිවෙකුටත් බිඳිය නොහැකි අමිහිරි නිහැඬියාවක් නැවත මතුවිය. නිවසට ගොඩවූ සැනින් ඔහුට මුහුණදීමේ වගකීම තමා වෙත පැවරී නොතිබිනි නම්, ඉන්දීවරගේ ගෙළ වැලඳ ඉකි බිඳීමේ හැකියාව තමාට ඇති බව හිමාලිට හදිසියේම වැටහින. එහෙත්, රතු වූ දෙනෙතින් යුතුව තමා නිවසට ගොඩවදිනු දුටුවහොත් සිය මව පමණක් නොව, ඔහුද කුකුසට පත්වෙනු ඇත.

එයා ලබන මාසේ රට යනවා; ශිෂ්‍යත්වයකට. ඊට කලින් අපි දෙන්නා බඳින්න ඕන කියලා දෙපැත්තෙම නෑඳෑයෝ කිව්වා! ඇය ඔහු නෑසූ පැනයකට පිළිතුරු දුන්නාය.

මං යන්නම්! ඇගේ හඬ ඔහුට යාන්තමට මතකය. ඊළඟ නිමේෂයේදී ඇය ඔහුට පිටුපා පටු පාර දිගේ නිවස දෙසට පිය නැගුවාය.

ඇය තවත් මොහොතක් තමා අසල සිටියා නම් කොතරම් අගනේද? යන සිතිවිල්ල ඉන්දීවරගේ සිතට නැගින. එහෙත් ඒ නිමේෂය තුළ පවා තමා මෙතේ ඇ අසල ප්‍රදර්ශනය කළ දීර්ඝ ගොලුවත බිඳිය හැකිය යන විශ්වාසය ඔහු තුළ නොවීය. 


පසු සටහන: 

මේ කෙටි කතාව මවිසින් රචනා කරන ලද්දේ 2000 වර්ෂයේ දීය. එදා මා මෙය ලියන විට හිමාලී හමුව වසර 02 ක් ඉක්ම ගොස් තිබිණි. කිසියම් කරුණක් සම්බන්ධයෙන් බියපත්ව සිටි ඇය සමග ඵලදායී සංවාදයක යෙදීමට නම් මට සංස්කෘතික සිතිවිලි රාමුවෙන් බැහැරව නව දර්ශනයකින් ජීවිතය දෙස බැලීම අත්‍යවශ්‍ය විය. ඒ සඳහා මා, මගෙන් වියුක්තව මා දෙස බලද්දී, මා තුළ අරගල කරන සංස්කෘතික මිනිසා හා ශිෂ්ට මිනිසා පැහැදිලිව වෙන් කර හඳුනා ගතිමි. මා තුළ සිටින සංස්කෘතික මිනිසා මරා දැමීමට මම ඒ මොහොතේ තීරණය කළෙමි. මා ඒ සඳහා අදටත් උත්සාහ දරමි. ඒ බැවින් මට එදා හිමාලී සමග ඵලදායී සංවාදයක් ගොඩ නඟා ගැනීමට නොහැකි වූ බව නිහතමානීව කිව යුතුය. 


ඉන් වසර විස්සක් ඉක්මවා ගිය අද දින පවා මට හිමාලී නැවත හමුවෙයි. මම අදටත් ඇය සමග ඵලදායී සංවාදයක් ගොඩ නඟා ගැනීමට උත්සාහ කරමි. මන්ද එය මාගේ යුතුකම වන බැවිනි.


No comments:

Post a Comment

“ නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”

නිල් නුවන් පෙගෙන ආදරයේ ව්‍යාජ ආලවට්ටම් වෙනුවට උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි ============ නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං ...