මැදිවියේ සර්ප්‍රයිස් උපන් දින පාටිය

මං මැදිවියට එළඹිලා කියන හැඟීම මුලින්ම මට දුන්නේ මගේ ඔෆිස් එකේ වැඩ කරන සෙට් එක. මං එයාලා ගේන ලියුම්, ෆයිල් කියවන්න “කණ්ණාඩිය කෝ“ කියලා පෙරළගෙන හොයන වෙලාවට, කට කොනකින් හිනා වෙලා “ඔය සර්ගේ ඔළුවේ තියෙන්නේ!“ කියලා කිවිවේ හරිම දෙගිඩියාවන්. මොකද මං නිතරම හිතපු දෙයක් තමයි මට සුපිරි මතකයක් තියෙනවයි කියන එක. මට මොනව හරි අමතක වෙලා කියලා කව්රු හරි අඟවනවට වත් මං කැමැති නෑ. ඒ නිසා පළවෙනි දවසේ එයාලා කණ්ණාඩිය පෙන්නුවේ සෑහෙන්න තෙපර බාලා. 


ඊට පස්සේ එයාලා කණ්ණාඩිය ඔළුවේ කියලා කියනවා වෙනුවට මං එක හොයන්න පටන් ගන්නකොටම අතේ තියෙන ෆයිල් එකක් හරි, නෝට් පොත හරි මේසේ උඩ තිරස්ව හිටවනවා. දැන් මේ සංඥාව මට වගේම මගේ ඔෆිස් එකේ හැමෝටමත් පුරුදුයි. 


පස්සේ මේක කණ්ණාඩියට විතරක් සීමා නොවී පුළුල් පරාසයක පැතිරුණා. ඉතින්, එක දවසක් මං පිළිවෙලට ඇඳගෙන ඔෆිස් ගියා. ඇත්තටම එදා මට යන්න තිබුණේ ඉලෙක්ෂන් ඔෆිස් එකට. මං ගෙදරින් පිටත් වෙනකොට එහෙම කිවවා වගේ මතකයි. ඒත් මගේ තරුණ, කඩවසම් රියදුරා අර නිඳි කිරා වැටිච්ච මිනිහා කරත්තේ බැඳගෙන පුත්තලං ගිය ගොනා වගේ තමයි. ඒ ගොනා ගම වටේට රවුමක් ගිහින් ආයෙමත් ගෙදර එනවා වගේ මගේ රියදුරත් ගමන පිටත් වෙනකොට කොහෝ යන්න කිව්වත්; පාරෙදි ගමන් කරන්න ඕන දිසාව අතින් පෙන්නුවේ නැත්තං කෙළින්ම යන්නේ ඔෆිස් එකට. ඔෆිස් එකෙන් පිටත් වුනාම කෙළින්ම යන්නේ ගෙදරට. බැරි වෙලාවත් මට නින්ද ගියොත්, අනිවාර්යයෙන්ම යන්නේ අර කිව්ව ගමනාන්තයන් දෙකකින් එකකට තමයි. ඒ නිසා මේ කියන දවසෙත් එයා මං කෙළින්ම අරගෙන ගියේ ඔෆිස් එකට. 


මං ඔෆිස් එකට එනකොටම කට්ටිය වෛනදට වඩා ටිකක් හිනා වෙලා මං දිහා බැලුවා. “අද සර් හැඩ වෙලා!“ කියලත් කිව්වා. ඒත්, මට ඒක එච්චර දැනුනේ නෑ. මං ඇවිල්ලා වාඩි වෙනකොටම මගේ බ්‍රාන්ච් එකේ කට්ටියම ඇවිල්ලා කාමරේ පිරුණා. 


“මොකද මේ හැමෝම!“ මං සුපුරුදු තරහෙන් ඇහුවා. හේතුවක් ඇතිව හරි නැතිව හරි ඔෆිස් එකේ ඉන්නකොට, කේන්තියෙන් ඉන්න එක මගේ නවීන කළමනාකරණ ශෛලිය බව හැමෝම දන්නවා. ඒ වෙලාවට කට්ටිය ෆුල් සයිලන්ස්. කිසිම කතාබහක් නෑ. 


“හැමෝගෙම ෆයිල් එකපාර බලන්න නම් ඔන්න බෑ හොඳේ“ මං සූර පප්පා එකේ ඊජිප්තු විජ්ජාකාරයා වගේ කිව්වා. බ්‍රාන්ච් එකේ ඉන්න පරිනතම නිලධාරිතුමිය තමන්ගේ ෆයිල් එක මගේ මේසේ උඩින් තිබ්බා. 


“මේක මොකක්ද?“ කියලා අහන ගමන් මං පුටුව කරකවා කරකවා වට පිටාව බලන්න පටන් ගත්තා. ඔන්න එතකොටම අර නෝනා ෆයිල් එක කෙළින් හිටෙව්වා. වැඩේ හරි. ඔළුව අතපත ගාලා කණ්ණාඩි කුට්ටම හොයා ගත්තා. 


මං ෆයිල් එක අරගෙන “දැන් මං මේක එක්ක මොනවද කරන්න ඕන?“ කියලා කල්පනා කරන්න පටන් ගන්නකොටම ඒ නෝනා “සර්, මිනිට් එක!“ කියලා කිවිවා මං ලියුමත් පෙරළාගෙන පිස්සුවෙන් වගේ මේසේ අතපත ගානකොට “ආ සර් පෑන කියලා!“ එයා තමන්ගේ පෑන දුන්නා.  මං හැමදාම පෑන අමතක කරලා එන බව දන්න නිසා එයාලා මං අත්සන් නොකර වට පිට බලන කොට තමන්ගේ පෑණ දෙන එක දැන් අපේ ඔෆිස් එකේ තවත් එක සම්ප්‍රදායක්. මං පෑණ අතට අරගෙන ආයෙමත් ටිකක් කල්පනා කරනකොට, ඒ කරුණාවන්න නෝනා ආයෙමත් තමන්ගේ යුතුකම ඉෂ්ට කළා. 


“සර්, ලියුමේ මුල් කොපියේ දිග අත්සනයි, මිනිට් එකට කෙටි අත්සනයි දාන්න ඕන!“ 


ඇත්ත නේන්නම්, මං ලියුමේ කෙටි උත්සන දාලා, මිනිට් එකට දිග අත්සන දාලා. මං එහෙම කළා. ඒත් සියල්ලෝම මොකුත් නොකියා මං දිහා බලාගෙන ඉන්නවා. 


“තවත් මොනව හරි අත්සන් කර ගන්න තියෙනවද?“ කියලා මං ඇහුවා. 


“නෑ සර්, ඒත්…..!“ එයාලා තෙපර බානවා. 


“ඒත් මොකද?“ 


“සර් අද අපට සර්ප්‍රයිස් පාටි එක දෙන දවසනේ…! කෙනෙක් කිව්වා. 


“ඇත්තට! ඒ මොකටද?“ 


“සර් වෙන දවස්වල එහෙම කළා නේ. ඒකයි!“ එයාලා කිව්වා. 


“මං මොනවද කළේ?“ 


“සර්, ගිය අවුරුද්දේ උදෙන්ම කේක් එකක් ගෙනැල්ලා, තව බොන්න බීම ගෙනැල්ලා හැමෝටම එන්න කියලා උදෙන් සංග්‍රහ කළා!“ කෙනෙක් කිව්වා.


“ඊට කළින් අවුරුද්දේ, දවල්ට අයිස්ක්‍රීම් ගෙනැල්ලා හැමෝටම දුන්නා!“ තව කෙනෙක් කිව්වා. 


“ඊටත් කළින් අවුරුද්දේ සර් ගෙදර හදපු ඉස්සො වඩේ ගෙනැල්ලා දුන්නා!“ පිටිපස්සේ හිටිය ගෑණු ළමයෙක් කිව්වා. 


“ඒක නම් වෙන්න බෑ. ගෙදර හදන ඉස්සො වඩේ ගේන්න කිසිම විදිහක් නෑ. මොකද අපේ ගෙදර කවදාවත් ඉස්සො වඩේ හදන්නේ නෑ. මං ඉස්සො වඩේ ගන්නෙම 174 බස්වල වඩේ විකුණන වයසක මෑන්ගෙන්“ මං කිව්වා. 


“අර කොණ්ඩේ පැහිච්ච මෑන්ගෙන් නේද සර්?“ දැන් අලුතෙන් දාපු කෝච්චියෙන් දිනපතා බෙලිඅත්තේ ඉඳලා වැඩට එන සංවර්ධන නිලධාරියෙක් ඇහුවා.  


“ඔව් ඔයා කොහොමද දන්නේ?“ මං ඇහුවා. 


“නෑ, එදා සර් ගෙනාපු වඩේවල සුදුපාට කෙස් ගස් වගයක් තිබ්බා. ඉතිං මං නිකං අනුමානෙට කිව්වේ!“ මිනිහා ඇඟට පතට නොදැනී කියලා දැම්මා. 


“ඒකෙන් වැඩක් නෑ!“ මං ආයෙමත් මගේ සුපුරුදු නිලධාරි පෙනුමට ආරූඪ වෙන ගමන් මෙහෙම ඇහුවා. “දැන් ඇයි මං අවුරුද්දක් ගානේ ඔහෙලට පාටි දීලා තියෙන්නේ. අනික මේ දවසටම, සර්ප්‍රයිස් පාටියක් දෙන බව ඔයාලා කොහොමද දන්නේ“ 


“ඇයි සර්, අද සර්ගේ උපන් දිනේ නේ!“ එකියක් කිව්වා. 


අනින එතකොට මට එකාරටම මතක් වුනා. ඔව්නේ, මං මේ ඉන්නේ මං කවදා හරි දවසක ඉපදුනු නිසා නේද කියලා. මං ඉපදිච්ච කෙනෙක් නම්, මට උපන් දිනයක් තියෙන්න ඕන නේද කියලා. 


“හිතුවද මං අමතක වෙලා හිටියේ කියලා. මට හැම දෙයක්ම හොඳටම මතකයි. මං කොහොමටත් දවල් වෙලා පාටියක් දෙන්න තමයි හිටියේ. අමතක වුනයි කියලා මට අපහාස කරන්න එපා!“  මං කිව්වා. 


“සර්ම තමයි අපට ගිය සතියේ කිව්වේ අද උදේම ඇවිල්ලා පාටිය ගැන මතක් කරන්න කියලා!“ 


“මං ගිය සතියේ ස්ටාෆ් මීටින් එකක් ගත්තේ නෑ නේ. එහෙම කියන්න“ 


“නෑ සර් පෞද්ගලිකව තමයි කිව්වේ!“ 


“පෞද්ගලිකව! එක එක්කෙනාට!“ 


“ඔව් සර් වෙන කාටවත් කියන්න එපා කියලා අපි හැමෝටම වෙන වෙනමම කියලා අද උදේම ඇවිත් උපන් දිනේ සර්ට මතක් කරන්න කියලා. එහෙම හැමෝටම කියලා තියෙන බව අපි දන්නේ උදේම සර්ගේ කාමරේට ආවම තමයි!“  


“මං එහෙම කළේ හිතා මතාම තමයි!“ මං ටක් ගාලා කිව්වා. “ඒක තමයි අද සර්ප්‍රයිස් එක. මං අද මගේ ගානේ හැමෝටම බිරියානි දෙනවා. මං කට්ටියටම එන්න කිව්වේ, කී දෙනෙක් ඉන්නවද කියලා ගැනලා සල්ලි දෙන්න“ මං ටිකක අමුතු විදිහට හිනා වෙලා වැඩේ ගොඩ දා ගන්න හිතාගෙන කිව්වා. හැමෝම ඒකට ඇන්දුන බව පෙනුනා. 


ඒත්, සල්ලි දෙන්න හිතාගෙන හොයද්දි තමයි මට දැනුනේ මොකක් හරි අඩුවක් තියෙන බව. ඉතිං මං ඒ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා. ඒක මං සාමාන්‍යයෙන් දා ගන්නේ වම් පැත්තේ කලිසං සාක්කුවේ. ඒක එතන නෑ. පිටිපස්සේ සාක්කුව බැලුවා. ඒත් නෑ. මොකටත් කියලා දකුණු පැත්තේ සාක්කුවේ බැලුවා. ඒක එතනත් නෑ. සමහර වෙලාවට මං ඒක සාක්කුවේ දා ගන්න අමතක වෙන හින්දම බෑග් එක ඇතුළට දා ගන්නවා. මං ඒක එතනත් හෙව්වා. ඒත් නෑ. 


“මොකක්ද සර් හොයන්නේ?“ හැමදාම මට උදේ කෑම එක කඩෙන් ගෙනත් දෙන කාර්යාල සහකාර කොල්ලා ඇහුවා. සාමාන්‍යයෙන් මගේ හැසිරීමයි, වැඩයි ගැන අනෙක් උදවියට වඩා හොඳ දැනුමක් ඒ කොල්ලට තියෙනවා. 


“මං මේ හොයන්නේ?“ මං තෙපර බෑවා. අර කොල්ලා එක පාරටම මගේ ලීඩර් ශිප් එක අබිබවනය කරමින් සිටුවේෂනල් ලීඩර් කෙනෙක් බවට පත් වුනා. 


“හරි! හරි! දැන් සර් දන්නවා අද අපි කී දෙනෙක් ඔෆිස් ඇවිල්ලද කියන එක. ඒ වගේම සර් කිව්ව විදිහටම හැමෝටම බිරියානි ගෙනැල්ලා දෙයි. හැමෝම දැන් බ්‍රාන්ච් එකට යන්න!“ 


කට්ටියම එළියට ගියා. මං ආයෙමත් කල්පනා කරනවා. කට්ටියට බිරියානි අරගෙන දීම කෙසේ වෙතත්, දැන් මං උදේට කන්නේ කොහොමද? දවල්ට කන්නේ කොහොමද? වගේ කාරණා තමයි මං කල්පනා කළේ. 


ඔන්න එතකොට තමයි හදිසියේ මතක් වුනේ අද උදේ වරුවේ රැස්වීමක් තියෙන බව. ටිකක් උදේම පටන් ගන්න රැස්වීම්වලට බරපතල ෂෝට් ඊට් එකක් දෙන සිංහල සිරිත අපේ ඔෆිස් එකෙත් තියෙනවා. ඒකෙන් උදේ කෑම වේල පිරිමහ ගන්න පුළුවන් නේද කියලා හිතනකොට මට සැනසිලිදායක හැඟීමක් ආවා. ඒත්, දෙයියනේ මගේ කට වරද්දාගෙන මං පොරොන්දු වෙච්ච සර්ප්‍රයිස් බිරියානි පාටියට මොකද වෙන්නේ! 


අන්තිමට මං තීරණය කළා ඒක අමතක කරන්න. උදේම රැස්වීමට ගිහිල්ලා, එහෙන්ම වරු නිවාඬුවක් දාලා ගෙදර යන්න තීරණය කළා. සමහර විට කට්ටියත් මං ගැන දන්න නිසා වැඩේ අල්ලලා දාන්න ඉඩ තියෙනවා. 


ඉතිං මං රැස්වීමට ගියා. උදේට කෑම අර කිව්ව විදිහටම ෂේප් කර ගත්තා. ඊට පස්සේ රැස්වීමේ කරුණු කාරණා ගැන බරපතල විදිහේ අවධානයකින් පසුවීම නිසා මං ඇත්තටම දවල් නිවාඬුව දාන එක අමතක වුනා. රැස්වීම ඉවර වෙලා මං කැබින් එකට එනකොට, මෙන්න බොලේ මගේ මේසේ උඩ කෑම පාර්සල් දෙකක්. එකක් නම් සාමාන්‍ය විදිහට සුදු පාට කොලේකින් ඔතලා. අනික ලස්සනම ලස්සන පෙට්ටියක දාපු, මිල අධික බිරියානි විකුණන රෙස්ටෝරන්ට් එකකින් ගෙනාපු බව සඳහන් වෙලා තිබ්බ එකක්. ඒ මදිවට ඊට එහා පැත්තේ වැල්ලවත්තේ රියෝ එකෙන් ගෙනාපු ලොකු අයිස්ක්‍රීම් එකකුත් තියෙනවා. 


මට එකපාරටම හිතා ගන්න බැරි වුනා මේ සර්ප්‍රයිස් පාටිය කාගෙද කියලා. ඉතිං මං ලාවට කම්පියුස් වීගෙන එනකොටම අර මං හොඳින්ම දන්න කාර්යාල සහායක කොලුවා මගේ කාමරේට ආවා. 


“මේ බිරියානි කාගෙන්ද ධනුෂ්ක?“ මං ඇහුවා. 


“සර්ගෙන් තමයි ඉතිං!“ කොල්ලා කිව්වා. 


“මගෙන්? ඇයි මං බිරියානි ගෙනාවේ?“ 


“අද සර්ගේ උපන්දිනේ නේ. ඒකයි ඔය පාටිය. සර් අද බ්‍රාන්ච් එකේ හැමෝටම බිරියානි දෙන්න කිව්වා නේ. තව රියෝ එකෙන් අයිස්ක්‍රීම්!“ 


“එහෙමද? එතකොට මේ අනෙක් කෑම පාර්සලේ?“ මං ඇහුවා. 


“ඒ සර්ගේ උදේ කෑම එක! මං ඒක ගේනකොටත් සර් රැස්වීමට ගිහින්. ඉතිං මං ඒක එහෙමම තිව්වා!“  


“ඒ කියන්නේ අද මං උදේට කාලත් නෑ කියන එකද?“ 


“මේකනේ සර් වුනේ. අද සර් ගොඩක් දවස්වල වගේම පර්ස් එක ගෙනැල්ලා තිබ්බේ නෑ. එහෙම දවල්වල සාමාන්‍ය කෙරෙන විදිහට මං මගේ අතින් සල්ලි දාලා සර්ගේ උදේ කෑම එක ගෙනැල්ලා තිව්වා. සර් අද කට්ටියට බිරියානි දෙන්න පොරොන්දු වුනා නේ. එහෙම නොදී හිටියොත් හරි නැති නිසා මං මගේ අතින් සල්ලි දාලා කට්ටියටම බිරියානි ගෙනැල්ලා දුන්නා!“ 


“එතකොට රියෝ එකෙන් අයිස්ක්‍රීම්?“ 


“සර් අපි විතරක් සර්ප්‍රයිස් කරලා මඳි නේ. ඉතිං මං සර් සර්ප්‍රයිස් කරන්න තමයි ඔය මංම හිතලා රියෝ අයිස්ක්‍රීම් ගෙනාවේ!“ 


“බොහෝම ස්තුතියි ධනුෂ්ක“ මං කිව්වා. “මං වෙනුවෙන් ලොකු වියදමක් දරලා නේද?“ 


“You are welcome සර්. බිලත් පුරුදු විදිහටම සර්ට පේන්න අර ටයි එක දාන්න ඕන නිසා ගහලා තියෙන පුංචි කණ්ණාඩියෙන් ඇලෙව්වා. අර තියෙන්නේ!“ 


පර්ස් එක අමතක වෙච්ච දවස්වල මට කෑම ගෙනැල්ලා දෙන්නේ ධනුෂ්ක තමයි. රස්සාවට අමතරව ව්‍යවසායකයෙකුත් වෙන ධනුෂ්ක ළඟ හදිසියකට පියවා ගන්න සල්ලි අතේ ගැවසෙන කෙනෙක්. මට ඒ සල්ලි දෙන්න අමතක වෙන නිසා මිනිහා සාමාන්‍යයෙන් කරන්නේ බිල අර කිව්ව පුංචි කණ්ණාඩියේ අලවන එක තමයි. හැමදාම උදේ ටයි එක දාන්න බලනකොට මට බිල පේන විදිහට. හැබැයි, ඒක පුංචිම පුංචි එකක් විදිහට අල්වන්නත් එයා වග බලා ගත්තා. මොනව වුනත් ලොක්කට නම්බුවක් තියෙනවා නේ. මේක අපි දෙන්න විතරක් දන්න රහසක් විදිහට තියා ගන්නත් අපි වග බලා ගත්තා. 


ඉතිං අදත් මිනිහා පුංචි බිල් කෑල්ලක් අලවලා. බිල පුංචි වුනාට ගාන දැක්කම තමයි මට බිලේ තරම දැනෙන්න පටන් ගත්තේ. කොහොම වුනත් මං හැරිලා බලනකොට වෙනදා කරනවා වගේම ධනුෂ්ක කාමරෙන් අතුරුදහන් වෙලා. කමක් නෑ. මේ දවස්වල ගේ හදන්න දාපු ලෝන් එකේ සල්ලි අතේ තියෙනවා නේද කියලා ඊට පස්සේ කල්පනා වුනා.  


එතකොටම අපේ බ්‍රාන්ච් එකේ ලස්සන මිස් කෙනෙක් මගේ කැබින් එකට ආවා. එයාගේ කට පුරාම හිනාව. සමහර විට බිරියානියි, අයිස්ක්‍රීම් එකයි හින්දා වෙන්න ඇති. මං ලකුණු ටිකක් දා ගන්නත් හිතාගෙන මෙහෙම ඇහුවා. 


“බිරියානි රසයිද මිස්?“ 


“රසම රසයි සර්. හැමෝම සර්ට ස්තුති කළා. සර් ගොඩක් අගේ කළා!“ 


ටිකක් වියදම් වුනත් නම්බුව බේරා ගන්න ලැබීම ගැන හිතලා හරි හිත හදා ගන්න පුළුවන් නේද කියලා හිතලා මං ඊළඟ කෑල්ල කිව්වා. 


“යමක් දෙනකොට වටිනා දෙයක් දෙන්න ඕන. මං ඔය වියදම් ගැනත් එච්චර හිතන්නේ නෑ නේ!“ 


“ඇත්ත තමයි සර්. කට්ටිය හැමෝම ධනුෂ්කටත් ස්තුති කළා ඒකට!“ 



No comments:

Post a Comment

“ නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”

නිල් නුවන් පෙගෙන ආදරයේ ව්‍යාජ ආලවට්ටම් වෙනුවට උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි ============ නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං ...