නිල් නුවන් පෙගෙන

ආදරයේ ව්‍යාජආලවට්ටම් වෙනුවට
උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි
============

නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං කැමැති නෑ. ඒකෙන්, නව යෞවන ආදරයේ සුන්දරත්වය නැති වෙනවා. ඒ වගේම, ස්ත්රීන්ට ආදරේ කරන පිරිමි සුගත්ලා හා පිරිමින්ට ආදරේ කරන ස්ත්‍රීන් දම්මිලා වෙනවට මං කිසිසේත්ම මං කැමැති නෑ. ඒකෙන්, ස්ත්රී පුරුෂ ආදරේ වින්දනීයම කොටස එයාලා සදාකාලිකවම අහිමි කර ගන්නවා.
මං ඉස් ඉස්සෙල්ලම ආදරය සම්බන්ධයෙන් සංවේදී වුනේ හතේ හෝ අටේ පංතියේ ඉගෙන ගන්න කාලේ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාව කියවලා. ඊට පස්සේ මං පොතක් හොයා ගන්න එක කළුනික හොයනවට වඩා ටිකක් විතර පහසු වුනු කාලෙක ගොළු හදවතේ දෙවෙනි කොටස, බඹා කෙටූ හැටිත් හොයාගෙන කියෙව්වා. පස්සේ මං තීරණය කළා, මං කවදා හරි ආදරේ කරන්නේ මේනකාට මිස දම්මිට නෙවෙයි කියලා.

මේනකා එක්ක රහසින් එන සුගත්, එදා උදේම අවදි වෙලා එකපාරටම හැරිලා බලනකොට කණ්ණාඩියෙන් දකින්නේ කළින් දවසේ මේනකා ඇඳගෙන ආපු සාරි “අක්රමවත් ආකාරයෙන්“ කාමරේ පුටුවක් උඩ තියෙන විදිහ. ඒ සාරිය ඇඳගෙන ආපු මේනකා ඇඳේ එහා පැත්තේ, තමන්ගේ ඇඟ උඩින් අතකුත් දාගෙන තුරුළු වෙලා, ඇඟට උණුසුම වැටෙන විදිහට රිද්මයාණුකූලව හුස්ම ගන්නවා දැනෙද්දිත් සුගත් අර අක්රමවත්ව ගලවලා දාපු සාරියේ ෆැන්ටසිය විඳිනවා. මට ඒ අවසානම වාක්ය කීපය කියෙව්වම තරයේ හිතා ගත්තා, මං කවදා හරි දම්මිට පෙම් කරපු සුගත් වෙනවා වෙනුවට අර මේනකාගේ සාරියේ ෆැන්ටසිය විඳපු සුගත් වෙනවයි කියලා.

ඒ මං සුගත් දම්මි ආදරේ නොදැකපු මොකක්දෝ ජීවිතය සතුටින් තියන්න පුළුවන් යමක් සුගත් - මේනකා ආදරේ දැකපු නිසයි.ඒ හැම ශිෂ්ට මිනිහෙක්ම දිවි හිමියෙන් සටන් කරලා රැක ගන්න ඕන, අපේ රටේ සංස්කෘතික මිනිසා විසින් සාහසික විදිහට විනාස කරලා දාපු ස්ත්රී-පුරුෂ ආදරේ වැදගත්ම කොටස සුගත් මේනකා ආදරේ තිබ්බ නිසයි කියලයි මං හිතන්නේ. තමා සමග යහන් ගත නොවූ සියක් ස්ත්රීන් ෆැන්ටසියක් කර ගන්නවා වෙනුවට, යමෙකුට තමා සමග යහන්ගත වූ ස්ත්රියක් ෆැන්ටසියක් බවට පත් කර ගන්න පුළුවන් නම් වගේම, ඒ ආදරණීය හැඟීම එක්ක දිගින් දිගටම ජීවත් වෙන්න පුළුවන් නම් කියලා මට අද කල්පනා කරනකොට හිතෙනවා.

ඒ සුගත් මේනකා ආදරේ වින්දයි කියලා සඳහන් කරපු වයස පහු කරලා තවත් අවුරදු 20 ක් විතර ගත කළාට පස්සේ.

බඹා කෙටූ හැටි පොතේ සංසිද්ධිය ලංකාවේ එච්චර හිට් වුනේ නෑ. ඒ වගේ, තමන් වින්ද ස්ත්රිය උත්කර්ෂයට නංවපු නිර්මාණ ලංකාවේ එච්චර සංවාදයට භාජනය වෙලා හිට් වෙන්නේ නෑ. ඒ වෙනුවට, අහිමි වූ ෆැන්ටසිය වෙනුවෙන් අඬා වැලපෙන එව්වා නැඟල යනවා. සින්දු වුනත් එහෙමයි.

ස්ත්රියක් ගැන හිතෙන් මවාගෙ, ඇය ප්රාර්ථනා කරන විදිහේ සින්දු ලියන්න හරිම ලේසියි. හේතුව, ඒ සින්දු සංස්කෘතික කුහකම අස්සේ සාර්ථකව හංගන්න පුළුවන් නිසා. තමන් ආදරේ කරන ස්ත්රියගෙන් හෝ තමන් ආදරේ කරන පිරිමියාගෙන් තමන් අපේක්ෂා කරන්නේ මොකක්ද කියලා ඇහුවම බොහෝ දෙනෙක් කියන්නේ අදාල නැති වැල්වටාරම්. ඒ වැල්වටාරම් අස්සේ තමන්ගේ අනෙකා සොක්රටීස්ගේ පටන් ජැක් ඩෙරීඩා දක්වා වන දාර්ශනිකයන්ටත්, අනුන් වෙනුවෙන් දුක් ඉසිලූ සියළු ආගමින නායකයින්ගේ පරහිතකාමී කැපකිරීම්වලටත්, සීසර්ගේ මරණ මංචකයේ කතාව කරපු මාරක් ඇන්ටනිගේ අවංකත්වය තරමට අවංකකත්වයත්, රෝමියෝ ජුලියට්ලටත් වඩා ආදරණීය ආදරයටත් ආරෝපණය කරන්න එයාලට පුළුවන්. ඒත්, අත්යවශ්ය මූලික ප්රශ්නය එයාලා සාහසික විදිහට මඟහරිනවා.

මූලික ප්රශ්නය වෙන්නේ මොකක්ද?

එයා ඔබ විඳිනවද? එයා ඔබ ශිෂ්ට විදිහට විඳිනවද? ඔබ පිරිමියෙක් නම්, ඇය ඔබේ සතුට වෙනුවෙන් කැප කිරීම් කරනවද? ඔබ ස්ත්රියක් නම්, ඔබ තුළ සැඟව පවතින ඔබේ සතුට විඳ ගන්න ඉවසීමෙන් හා ගෞරවයෙන් උදව් කරනවද?

අමරසේන කම්කානම්ගේ කියන මං කැමැතිම ගේය පද රචකයෙක් ලියපු, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු, එඩ්වඩ් ජයකොඩි ගායන නිල් නුවන් පෙගෙන කියන සින්දුව මට හැඟෙන්නේ අර සුගත්, මේනකාගේ පහස විඳිමින්ම, ඇගේ අක්රමවත්ව ගලවලා පුටුවක් උඩුට දාපු සාරිය දිහා කණ්ණාඩියෙන් බලාගෙන ඇය ආපහු ආපහු මනසින් විඳින වෙලාවේ එයාගේ හිතේ රැව් පිළිරැව් දුන්න සින්දුව විදිහට.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීලවලා තුළට ගුලි වෙවී
හඳ හොරෙන් සිනා සේ නිල් දිය මතට පා වෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

ඇස් පෙඟෙන්නේ කඳුලිනි. එහෙත්, විශේෂත්වය වන්නේ, කඳුළු විවිධ හැඟීම් විසින් ජනනය කිරීමයි. විස්මය එයයි. එනම්, ඇසට උනන එකම හැඩයේ කඳුකට විවිධ අරුත් පවතින එකයි. ඒක, දුක, වේදනාව, සන්තාපය, සෙනෙහස, සතුට, බැඳීම ආදී අපරිමිත වූ මිනිස් හැඟීමකින් එකක් වෙන්න පුළුවන්. මේ කියන අවස්ථාවේ ඇගේ දෑස් පෙඟෙන්නේ නුරාවෙන්. අපේ සංස්කෘතික මිනිසා නුරාව නිවැරදිව තේරුම් අරගෙන නැහැ කියලා මං නිතරම හිතනවා. ඒ නිසාම, නුරාව කියන්නේ ටිකක් අප්රසන්න හැඟීමක් විදිහේ අදහසක් සමාජයේ මුල් බැසගෙන තියෙනවා. විශේෂයෙන්ම ස්ත්රිය නුරාවට බයයි. ඇය නිතරම නුරාව මඟ හරින්න උත්සාහ කරනවා. මොකද, සංස්කෘතික සාමජයේ නිතරම, නුරාවෙන් පස්සේ ස්ත්රිය අන්තිම අනාරක්ෂිත වෙන නිසා. මේක, විවාහය ඇතුළේ බිරිඳටත් අදාල බව මතක තබා ගන්න. මට වෙලාවකට හිතෙනවා ලංකාවේ නුරාවෙන් වැඩියෙන්ම අසරන වෙන්නේ විවිහක බිරින්දෑවරුන්ද කියලත්. මං රිසර්ච් එකක් කරලා නැති නිසා ටක්කෙටම කියන්න බැරි වුනත්, එහෙම අදහසක් මට තියෙනවා.

මට අනුව, නුරාව කියන්නේ ස්ත්රී-පුරුෂ බැඳීමේ උත්කර්ෂවත්ම හැඟීම. ජීව විද්යාත්මක අර්ථයෙන් ඒක තමයි ලෝකයේ හා ජීවියාගේ පැවැත්ම තීරණය කරන්නේ. මිනිසා සම්බන්ධයෙන් විතරක් කතා කරන්න පුළුවන් “ශිෂ්ට අර්ථයෙන්“ ඒක තමයි ගැඹුරුම මිනිස් සම්බන්ධතාව නිර්මාණය කරන්නේ. මේ ඇස් ඇගේ බැවින් මං කතා කරන්නේ ඇය ගැන විතරයි. ඇයගේ පැත්තෙන් නුරාව කියන්නේ,, තමන් ආදරේ කරන, තමන්ට අසීමිතව ගරු කරනා බවට විශ්වාස කරන, හා තමන් සියළු ආකාරයේ සංස්කෘතික ප්රහාරයන්ගෙන් ආරක්ෂා කර ගන්නා බවට තරයේ විශ්වාස කරන ඔහුට තමා සතු වටිනාම යමක් දී, තමා තුළ සැඟව පවතින සතුට අවදි කර ගැනීමට ඇය සූදානම් බවට වන හැඟීමයි.

මේ කවියේ බොහෝ වදන් සංකේත. මල් කවදාවත් වළාකුළුවල පිපෙන්නේ නෑනේ. හැබැයි මල් සුවඳ අරගෙන වළාකුළු කරා යන්න සුළට පුළුවන්. ඒකට සුළඟ වලාකුළු ළඟට යන්න කළින් මලේ වෙළෙන්න ඕන. ස්ත්රියගේ මුහුනේ මල කියන්නේ මුඛයට. මුව පියුම වගේ යෙදෙන්නේ. වළා කියන්නේ කේෂකලාපයට. සුළඟ කියන්නේ පිරිමියාගේ සුසුම්. සුසුම් නැඟෙන්නේ මුවින් කියලා දන්න නිසා මං මේ සිදුවීම මීට වඩා විස්තර කරන්න යන්නේ නෑ. හඳ කියන්නේ මුහුණට. හඳ හොරෙන් හිනා වෙලා නිල් දිය මතට පාවෙනවා. නිල් දිය කියන්නේ සිසිල් පෙදෙසක්. මුව නමැති මලෙන්, වරලස නමැති වළාවට ගිය සුසුම් නම් සුළඟ පිරිච්ච මුහුන නමැති හඳ මේ පා වෙලා ගිහිල්ලා තියෙන සීතල ජල තලාව ඒ ඒ අයට මවා ගන්න කියලා විතරක් කියනවා.

ගස්වල මල් පිපුනම, ඒ මල්වල රොන් ගන්න බඹරු කාගෙන්වත් අවසරයක් ගන්නේ නෑ. ඒ වගේම, සියල්ල බෙදා හදා ගන්න ආධ්යාත්මිකව එකඟ වුනු අය සියල්ල බෙදා හදා ගන්න කිසිම කරුණක් බාධාවක් කර ගන්න ඕන නෑ. ඒ මොහොතේ “කිරි කවඩි සිනාවේ පෙළහර“ දකින්න ප්රාර්ථනා කිරීම අරුමයක් නෙවෙයි. මේ සින්දුවේ මං ආසම යෙදුම තමයි මේක. සිංහල බෞද්ධ සංස්කෘතිය අස්සේ පෙළහරක් පාන්න ප්රසිද්ධ (සමහර විට පුළුවන් එකම කෙනා) බුදුන් වහන්සේය. උන්හවහන්සේ තෙවරක් යමා මහ පෙළහර පාපු බවක් කියවෙනවා. ඒ වගේ වචනයක් ස්ත්රියකගේ සිනාවන් වෙනුවෙන් යොදා ගන්න මේ රචකයා තුළ තිබුණ නිර්භීතභාවයට මං අසීමිතව ගරු කරනවා.

මේ සින්දුව ආව 80 දශකයේ අද තරම් ආගමින මූලධර්මවාදියෝ හිටිය නැති නිසා මේක තහනම් නොවෙන්න ඇති. දැන් නම් තහනම් නොවෙන්නේ, ඔය කියන බොහෝ මූලධර්මවාදීන්ට සංහල වචන හරියටම තේරෙන්නේ නැති නිසා වෙන්න පුළුවන්.

ඊළඟ පදයේ තේරුම මම කියන්න යන්නේ නෑ. මොකද, විඳින්න තියෙන දෙයක්, කිය කියා යන්නේ අන්තිම මෝඩයෙක් කියලා මං දන්න නිසා.

ළැම හසුන් රැඟුම් පා මනමත් කළාදෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
සෙනෙහස රැක ගන්න නම් ඒක කරන්නම ඕනද වගේ කතා නම් මගෙන් අහන්න එපා. ඒවා තම තම නැණ පමණින් දැන ගන්න.

සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ සිතත් ඔබ ළඟ නැවතිලා

මං මගේ මිත්ර පිරිමින්ට කියන්නේ, ඇයට ආදරය, ගෞරවය හා රැකවරණය දෙන්න. මොකද, ඇය ඒකට ඕනවටත් වඩා සුදුසුකම් ලබන නිසා. ඒ වගේම, ඇයගෙන් සියල්ල ඉල්ලන්න. මොකද, අපිට සියල්ල ඉල්ලන්න පුළුන් ආදරේ කරන කෙනාගෙන් විතරමයි නිසා.

මං මගේ ස්ත්රී යාළුවන්ට මොකුත්ම කියන්නේ නෑ. මොකද එහෙම කිසිම දෙයක් කියන්න මට අයිතියක් නැති නිසා. මේ අයිතිය නැති කෑල්ල මගේ අතිශය සමීපතමයාටත් අදාලයි.

කපිල ජනක බණ්ඩාර

No comments:

Post a Comment

“ නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්”

නිල් නුවන් පෙගෙන ආදරයේ ව්‍යාජ ආලවට්ටම් වෙනුවට උත්කර්ෂවත් නුරාවට ගෞරවයෙනි ============ නව යෞවනයෝ සුගත්ට වැරදුනු තැන නිවැරදි කර ගන්න යනවට මං ...